හිටපු සෙබළෙකු අත්අඩංගුවට ගෙන පහර දුන්නාට පොලිසියට වන්දි ගෙවන්න වෙයි

June 17, 2020 at 1:32 PM

කුරුණෑගල හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබලෙකු ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ වරදකට නීති විරෝධි ලෙසට අත් අඩංගුවට ගෙන රඳවා වදහිංසා සිදු කර ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාළව ඔහුට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් පිරිනැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

හෙට්ටිපොළ පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුමනසිරි සහ එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙසට කටයුතු කළ උප පොලිස් පරික්ෂක සුමනවීර යන අයගේ පුද්ගලික ධනයෙන් එක් අයෙකු රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් පෙත්සම්කාර හිටපු හමුදා සෙබලාට ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මීට අමතරව වග උත්තරකරුවන් රජයේ නියෝජිතයන් ලෙසට කටයුතු කරමින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බැවින් ඔහුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් වෙනම ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කරනු ලැබුවා.

මෙම පෙත්සම දොන් සමන්ත පෙරේරා නැමැති හිටපු හමුදා සොල්දාදුවකු විසින් ගොනු කර තිබුණා.

ඔහු නිසි පරිදි හමුදාවෙන් ඉවත්වීමෙන් පසු ආයුර්වේද බෙහෙත් ශාලවක කම්කරුවෙකු ලෙසට 2013 වර්ෂයේ කටයුතු කරමින් සිටියදී පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලකට හේතුවක් නොදන්වා නීතිවිරෝධී ලෙසට අත් අඩංගුවට ගත් බවට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණා.

අනතුරුව රදවා පොලිසිය විසින් පහර දුන් බව ඔහු පෙත්සමෙන් පවසා සිටියි .

එම පහරදීම් අධිකරණ වෛද්‍ය වාර්තා අනුව පැහැදිලි වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් අවධාරණය කර සිටියි. පෙත්සම්කරුට එරෙහිව සාක්ෂි අනාවරණය කර ගැනීමට ද පොලිසිය අපොහොසත් වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කරුණු අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාව කෲර වදහිංසනයට එරෙහිව ජාත්‍යන්තර සම්මුති වලට පවා අත්සන් කර තිබියදී පොලිස් භාරයේ සිටින සැකකරුවන්ට මෙලෙස හිංසනයට පත් වීමට සිදුවීම වැලැක්වීමට රජය ප්‍රායෝගික විසදුම් ගැන අවධානය යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන , එස්.තුරෙයිරාජා සහ එල්.ටි.බි. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශ කරමින් අවධාරණය කර සිටියා.