උසස් පෙළ විභාගය ගැන අවසන් තීරණය පාසැල් විවෘත කළාට පසුවයි

June 16, 2020 at 6:52 PM

උසස් පෙළ විභාගය පැවැත්වීමේ අවසන් තීරණය පාසැල් ආරම්භ කිරීමෙන් පසුව එළඹෙන පළමු සති අන්තයේදී ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙසට ඇතැම් පාර්ශවයන් වෙතින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී තිබේ.

රට තුළ පවත්නා තත්ත්වය මත මෙම ඉල්ලීම, විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සාධාරණ අයිතියක් ලෙස සලකා, මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය කොට, දැනට නියම කර ඇති පරිදි සැප්තැම්බර් මස 07 වැනි දා උසස් පෙළ විභාගය පැවැත්වීම දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුඵ අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

2020 ජුලි මස 06 වැනි දා පාසල් ආරම්භ වූ පසු, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ, එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් විභාගය පවත්වන දින පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ දී ම ප්‍රකාශයට පත්කරනු ලබන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.