රෝහලේ මුදල් කොල්ල කෑ සැකකරු වෛද්‍යවරයෙක් බවට හෙළිවේ

June 9, 2020 at 2:33 PM

කොළඹ ජාතික රෝහලේ මුල්‍ය අංශයේ කාර්යාලයක තිබුණු මුදල් පැහැරගෙන පළා ගිය පුද්ගලයෙකු කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කලේ මෙලෙස ජාතික රෝහලෙන් මුදල් මංකොල්ලකා පළා යාමට තැත් කළ පුද්ගලයා වෛද්‍යවරයෙක් බවට සිදුකළ විමර්ශන වලදී හෙළිව ඇති බවයි.

අද දහවල් කාලයේදී මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික රෝහලේ මුල්‍ය අංශයේ වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා ගෙවීම් සිදුකරනු ලබන කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.

එලෙස පැමිණි සැකකරු කාර්යාලයේ සිටි සේවකයෙකුගේ හිසට ගිනි අවියක් එල්ල කොට මුදල් දමා තිබු සේප්පුව බලහත්කාරයෙන් විවෘත කොට එහි තිබු මුදල් අඩංගු මල්ලද රැගෙන පළා ගොස් තිබුණා.

මුදල් මංකොල්ලකා පළා යන සැකකරු පසුපස රෝහල් සේවකයින් හඹා ගොස් ඇති අතර ඔහුද හොරෙක් හොරෙක් යැයි කෑගසමින් දිව ගොස් එම පිරිසෙන් පළා ගොස් සිටියදී කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.