මැතිවරණ වියදම කෝටි 900ක් – මැතිවරණ කොමිසමේ සභාපති

June 8, 2020 at 5:08 PM

මැතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිගත කරන ලෙසට එහි අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පනවා ඇති මාර්ගෝපදේශ මෙහිදී විශේෂයෙන්ම නීතිගත කිරිම අනිවාර්ය බවයි මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.

මෙවර මැතිවරණයට රුපියල් කෝටි 700ක් පමණ වැය වෙනු ඇති බවට පෙර ඇස්තමේන්තු කර තිබුණත් වර්ථමානයේ පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් එය කෝටි 900ක් පමණ ඉහළ යනු ඇති බවට අපේක්ෂා කරන බව කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.

මැතිවරණයේදී 15,000 කට ආසන්න සෞඛ්‍ය අංශ සේවක පිරිසක් යෙදවීමට අවශ්‍ය බව පැවසූ සභාපතිවරයා සෞඛ්‍ය ආරක්‍ෂිත මැතිවරණයක් පැවැත්වීමට අදාළ මුඛ ආවරණ, අත් ආවරණ, පිරිසිදු දියර ආදිය සපයා ගැනීමට මෙන්ම ප්‍රවාහන සහ නිලධාරීන්ගේ දීමනා ආදිය ලබා දීමට මුදල් අවශ්‍ය වන බව ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමට මහ මැතිවරණය කිසි සේත්ම ඉඩක් නොලැබෙන ලෙස පැවැත්වීම තමන් ඇතුළු මැතිවරණ කොමිසමේ අරමුණ බවත් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී එය එලෙසම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන වගකීම දේශපාලන පක්ෂ සතුව ඇති බවද මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.