කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියෙන් දුරකථන හමුවෙයි : බුස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ

June 7, 2020 at 4:56 PM

බූස්ස බන්ධනාගාර කඳවුරේ සිදුකළ විශේෂ සෝදිසියකදී පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ (06) පස්වරුවේ මෙම සෝදිසි කිරීම සිදුකර තිබේ.

එහිදී කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සිවිලිමේ සූක්ෂම ලෙස සඟවා තිබූ දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, සාමාන්‍ය දුරකථනයක්, සිම් කාඩ්පත් දෙකක්, දුරකථන චාජරයක් සහ හෑන්ඩ්ෆී උපකරණයක් එම ස්ථානයේ තිබී සොයා ගෙන ඇත.

මේ අතර බූස්ස බන්ධනාගාරයට සපයා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා වැඩබලන පොලිස්පතිවරයා සහ නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් ඊයේ (06) එහි කල සංචාරයකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.