භාතිය සන්තූෂ්, ෆ්ලෑශ් බෑක් රොෂාන් ඇමති ට මතුකළ ගැටළු

May 15, 2020 at 2:51 PM

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ගායක ගායිකාවන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය, වාදන ශිල්පින්, වාදන කණ්ඩායම්, සංගීත අධ්‍යක්ෂකවරුන් ඇතුළු විනෝදාස්වාද කර්මාන්තයේ නියුතු ශිල්පින් ඔවුන්ගේ ක්ෂේත්‍රයන්ට අදාළ ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට අද (15) කර්මාන්ත අමාත්‍යංශයේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවිය.

එම ශිල්පින් කියා සිටියේ ඔවුන්ගේ ක්ෂේත්‍රය කලාවක් පමණක් ලෙස පොදු පිළිගැනීමක් පැවතුන ද ඔවුන් සිදුකරන්නේ කලාවක් මෙන්ම කර්මාන්තයක් බව ය.

එබැවින් තමන් මෙතෙක් කිසිදු කර්මාන්ත ක්ෂේත්‍රයකට ඇතුළත් වී නොතිබීම නිසා මුහුණදෙන ගැටළු පිළිබද ඔවුන් අමාත්‍යවරයා දැනුවත් කළේය.

ඔවුන් කියා සිටියේ තම ක්ෂේත්‍ර ආශ්‍රිතව නිසි ප්‍රමිතියක් සහ ව්‍යුහගතවීමක් නොමැති බව ය.

ඒ වෙනුවෙන් මැදිහත්වන ලෙස ඔවුන් කළ ඉල්ලීමට අනුව විනෝදාස්වාද කර්මාන්තය නිසි ලෙස ව්‍යුහගත කිරීමට අවශ්‍ය කටයුතු පිළිබද හැකි ඉක්මනින් සොයා බලා මැදිහත්වන ලෙස අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ වනවිට නිසි ලෙස ක්‍රියාත්මක නොවන බුද්ධිමය දේපල පනත නිසි ලෙස ක්‍රියාත්මක කරමින් ඒ සදහා වගකියන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඉදිරියේදී ඒ සදහා තමන් මැදිහත් වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාව සඳහා ගායක ගායිකාවන්ගේ සංගමය නියෝජනය කරමින් ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ, සංගීත කණ්ඩායම් නියෝජනය කරමින් භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, රොෂාන් ප්‍රනාන්දු,රජිත් සුසිත සහ සංගීත අධ්‍යක්ෂකවරු නියෝජනය කරමින් සංගීතවේදී සරත් ද අල්විස්, විජිත ද සිල්වා, රොහාන් ද සිල්වා යන මහත්වරු සහභාගී වූහ