“මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ ” කියලා Statement එක දුන්න එකයි වැරැද්ද – නිලන්ත ජයවර්ධන සහ හේමසිරි ප්‍රනාන්දු ගේ හෙළි වූ දුරකථන සංවාදය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ තමන් අතර සිදුවු විශේෂ දුරකථන සංවාදයක හඬපටයක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (14) ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළේය.

මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයාගේ පෞද්ගලික ජංගම දුරකථනය තුළ පටිගතකරන ලද තවත් සංවාද ඇත්දැයි පරික්ෂා කිරීම සදහා එය වහාම ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය භාරයට ගන්නා ලෙසද කොමිසමේ සභාපතිවරයා නියෝග කළ බව අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කර සිටියේ.

පටිගත කරන ලද අදාළ දුරකතන සංවාදයේ සම්පුර්ණ කාලය මිනිත්තු 25 යි තත්ත්පර 04 කි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා 22 වැනි දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අද පැමිණියේය.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතාට නියෝග කර සිටියේ සාක්ෂිකරු මීට පෙර කොමිසමේ සදහන් කළ පරිදි ඔහු සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අතර ඇතිවුයේ යැයි පැවසෙන දුරකතන සංවාදය විවෘත කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසය.

කෙසේ වෙතත් එම නියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරිය ඉල්ලා සිටියේ අදාළ හඩපටය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සිදුකරන්නේ නම් එය මාධ්‍ය නොමැතිව සිදුකරන ලෙසය.

කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ජනාධිපති කොමිසම, එම දුරකථන සංවාද පටිගත කිරීම විවෘත කොමිසම හමුවේ වාදනය කරන ලෙස නියෝග කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අතර මෙම දුරකථන සංවාදය සිදුවී ඇත්තේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමෙන් පසු අප්‍රේල් මස අවසාන සතියේ හෝ මැයි මස මුල් සතියේ බව ජයවර්ධන මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන – සර්… ” අපි මේක දැනගෙන හිටියා. මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ ” කියලා Statement එක දුන්න එකයි වැරැද්ද. මම Statement දෙන්න ගියේ නැහැනේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු – හොඳයි. ඔයා කියන්න මාව දැනුවත් කළා කියලා. මම අයි.ජී ව දැනුවත් කරලනේ තිබ්බේ.

නිලන්ත – සර්ට මම 7 වෙනිදා දැනුවත් කළාම, Well Received කියලත් සර් එව්වනේ.

හේමසිරි – දැන් මෙතන තියෙන ප්‍රශ්නය ජනාධිපතිට කිව්වේ නැති එකනේ.

නිලන්ත – මගෙන් ඇහුවේ නැහැ ජනාධිපතිට කිව්වද කියලා. පත්තර වල යන්නේ ජනාධිපතිතුමාට නොකීම ප්‍රශ්නයක් කියලා.කොහොමටත් මම කිව්වේ නැහැ.

හේමසිරි – හරි ඔයා කිව්වෙත් නැහැ මම කිව්වෙත් නැහැ.

නිලන්ත – දැන් ජනාධිපති තුමා 20 ලංකාවේ හිටියෙත් නැහැනේ. එහෙමනම් මම අගමැතිට කියන්න එපැයි. මම අගමැතිට කිව්වෙත් නැහැ. එක රාජකාරි පැහැර හැරීමක් වෙන්නේ නැහැ. මේක ලොකු Issue එකක් වෙන්නේ නැහැ. පත්තර වලින් තමයි මේක Issue එකක් කරලා තියෙන්නේ. ඇත්තටම මේක Political Issue එකක්.

හේමසිරි – වැරදි කාගේ අතිනුත් වෙනවා. දැන් මේගොල්ලෝ මාව Arrest කරන්න යන්නේ. මම ආරක්ෂක ලේකම්ධුරයෙන් අයින් වුණා.

නිලන්ත – IG Resign වුනාද ?

හේමසිරි – නැහැ. IG යන්නේ නැහැයි කියලා අපි දෙන්නාටම ගහන එක හරි නැහැ.

නිලන්ත – සර්. මම හිතන්නේ සර් ජනාධිපතිතුමාව හම්බුනොත් හොදයි නේද ?

හේමසිරි – නැහැ. ජනාධිපතිව හම්බෙන්නේ නැහැ මම ඉතාමත් සුහදව කථා කරලා ඇවිල්ලා පහුවෙනිදා ඉදලා තමයි එයා මට ගහන්න පටන් ගත්තේ. ඒ වෙලාවේ සද්ද නැතුව හිටියානං ඉවරයිනේ.

නිලන්ත – මම මේකට හිරවෙලා ඉන්නේ හැම පැත්තෙන්ම. මට ගහනවා ජනාධිපතිගේ ගෝලයා කියලා. මාව අයින් කරන්න ඕනේ කියනවා. දැන් ඔතන මහේෂ් සේනානායක මහත්තයත් කියනවා දන්නේ නැහැ කියලා.

හේමසිරි – ඔව් ඒකනේ එයාලා මේ ගැන කතාකරපු සාකච්ඡාවේ හිටියනේ.

නිලන්ත – 9 වෙනිදා IG ට කිව්වට පස්සේ, 16 වෙනිදා කාන්තන්කුඩි පිපිරීමෙන් පස්සේ සහරාන්ගේ ඩ්‍රයිරන් එකක් කියලා Report 3 කුත් ගැහුවා. 20 සවසත් කිව්වා. පංචිකාවත්ත,කොච්චිකඩේ බලන්න කිව්වා. හෝටල්වලට ගහනවා කියලත් මම කිව්වා.කාටවත් කියන්න බැහැ මම දන්නේ නැහැ කියලා. 07 වෙනිදා ඉදලා මට මේක ලෙඩක් කියලා තේරුණා.

හේමසිරි – ඒ වෙලාවේ ඔයා මට කිව්වනං අයි.ජී. ට කියන්න මේ මේ දෙවල් කරන්න කියලා…

නිලන්ත – සර්, මම කිව්වේ නැහැනේ කොළඹට ගහනවා කියලා. මම නිශ්චිත තොරතුරු දුන්නා. අනික සර් කියන්න ඕනේ නැහැ අයි.ජී ට අතනට රෝඩ් බ්ලොක් දාන්න. මෙතනට රෝඩ් බ්ලොක් දාන්න කියලා. හැබැයි සර් ජනාධිපතිට නොකිව්ව එක ගැනනම් පොඩි අවුලක් තියෙනවා. හැබැයි අපි මේ ගැන නොකිව්වට Big Picture එක ගැන 2015 ඉඳලම කියලා තියෙන්නේ.

හේමසිරි – අපි දෙන්නගේ සුහදතාවයටවත් ඔයා මට කිව්වානං මම අරූට කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර හරහා මාධ්‍ය ප්‍රකාශයක් කරනවා. පල්ලි වලට ගහනවා මෙන්න මෙහෙම දෙයක් වෙන්න තියෙනවා කියලා. එහෙම කරානම් අපි ඔක්කොම බේරිලා.

නිලන්ත – දැන් අපිට වෙලා තියෙන්නේ අපි ඕක කරේ නැහැ කියන එකනේ. හැමෝම මේකෙන් දේශපාලන වාසි ගන්න හදනවා. මට හිතෙන තරමටනම් අපි 09 වෙනිදා රැස්වීමෙදි මේක ගත්තා මදි. දැන් ඔය නැහැ කිව්වට මම චුලාට කිව්වා, එයා බ්‍රිගේඩියර් කෙනෙක් වුනාට “අයිසේ මේ ගැන තොරතුරු හොයනවා කියලා.”

හේමසිරි – එයා එක දවසක්වත් සහරාන්ලා ගැන කියලා නැහැ. එයා කතාකරන්නේ වෙන වෙන දේවල් ගැන. පත්තර වලින් බලලයි එයා තොරතුරු කියන්නේ.

නිලන්ත – චුලා කියනවා එයා දන්නේ නැහැ කියලා. අඟහරුවාදා රැස්වීමේ එයා හිටියා. සිසිර මෙන්ඩිස් මහත්තයා ඇහැව්වා මල්ලි මේකට මොකද කරන්නේ කියලා. මම කිව්වා පිස්සු කෙළින්න එපා සර් ඕක ලෙඩක් ඕක දාන්න කියලා.

හේමසිරි – සි.එන්.අයි ට වැරැද්දක් එනවද ආමි එකට නේවි එකට කිව්වේ නැහැ කියලා. එයා ඉතිං කොහොමත් යන්න බලන් ඉඳපු කෙනානේ.

නිලන්ත – එයා ඉතිං කිව්වානං අගහරුවාදා රැස්වීමෙදි කතා කළා කියලා එයා නිදහස්.

පටිගත කරන ලද දුරකථන සංවාදය වාදනය කිරීම අවසානයේ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ජයවර්ධන මහතාගෙන් විමසා සිටියේ ඔබ මෙම සංවාදය පටිගත කිරීමේ අරමුණ කුමක්ද යන්නය.

එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු තොරතුරු ලැබී තිබියදි දැනුම් නොදුන්නේ යැයි රාජ්‍ය බුද්ධි සේවයට සහ එවකට එහි අධ්‍යක්ෂකව සිටි තමන්ට පාර්ශව ගණනාවක් චෝදනා එල්ල කළ බැවින් තමාගේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ කිර්තිනාමය රැකගැනීමට සාක්ෂි අවශ්‍ය වු බැවින් මෙම දුරකථ න සංවාදය පටිගත කළ බවය.

මෙහිදි කොමිසම් සභාව හමුවේ නැගී සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා කියා සිටියේ සාක්ෂිකරු විසින් මෙලෙස පටිගත කර ඇත්තේ තම සේවාදායකයා වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එම ධුරයෙන් ඉවත්විමෙන් පසු ලබාගත් පෞද්ගලික දුරකථන සංවාදයක් බවය.

එබැවින් සාක්ෂිකරු මෙම පාස්කු ප්‍රහාරය හා සම්බන්ධයෙන් තවත් පුද්ගලයින්ගේ පෞද්ගලික දුරකථන සංවාද පටිගත කර ඇත්දැයි විමසීම සදහා ඔහු එකළ භාවිතා කළ පෞද්ගලික ජංගම දුරකථනයද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර පරීක්ෂා කළ යුතු බව නීතිඥවරයා තර්ක කර තිබේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂිකරු හිටපු ජනාධිපතිවරයා සමග කළ දුරකථන සංවාදද පටිගත කර ඇත්දැයි සැක සහිත බවය.

කෙසේ වෙතත් නිලන්ත ජයවර්ධන මහතා විසින් විමර්ශනයට අවශ්‍ය හඬපටය සම්පුර්ණයෙන් ඉදිරිපත් කර ඇති බව පවසමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ජයවර්ධන මහතා එවකට භාවිතා කළ පෞද්ගලික ජංගම දුරකතනය පරික්ෂාවට ලක්කිරීමට සිය විරෝධය පළ කළාය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ඉල්ලීමට තමන්ද විරුද්ධ බව පැවසු අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ මෙම සාක්ෂිකරු ලබාදී ඇති හඬපටය සංස්කරණය කර ඇති බව අනාවරණය වෙනවානම් පමණක් සාක්ෂිකරුගේ පැරණි ජංගම දුරකථන පරික්ෂාවට ලක්කළ යුතු බවය.

මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ජයවර්ධන මහතාගෙන් විමසා සිටියේ පටිගතකරන ලද වෙනත් හඬපට “ඔබ සන්තකයේ පවතින්නේද යන්නයි”.

එයට පිළිතුරුදෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ තම ලැප්ටොප් පරිගණකය තුළ මීට පෙර රහසිගතව කොමිසමට ඉදිරිපත් කළ ජාතික බුද්ධි ප්‍රධානියා සම්බන්ධ වන පටිගත කිරීම හැරුණු විට තවත් එක් හඬපටයක් ඇති බවයි.

එම කරුණු සලකා බැලු ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ නිලන්ත ජයවර්ධන මහතා ලබා දී ඇති සාක්ෂිය තුළ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ යම් පුද්ගලයින් ආරක්ෂා කිරීමක් පිළිබද ව්‍යාංගයෙන් කතාවෙන ස්වරූපයක් කොමිසම නිරීක්ෂණය කළ බවය.

එසේම අද දින ඉදිරිපත් කළ හඬපටය ආරම්භයේ සිට නොමැති බවත් “කිසිවෙකු අමාරුවේ දැමීමට අවශ්‍ය නැහැ” යන්න කියවීම තුළද සැක පහළ වන බව සභාපති විනිසුරුවරයා සදහන් කළේය.

එබැවින් මෙම කොමිසමේ මුඛ්‍ය පරමාර්ථය පාස්කු ප්‍රහාරයට අදාළ සියලු කරුණු ආවරණය කිරීම වන බැවින් නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ භාවිත කළ පෞද්ගලික දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය වහාම ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට භාර දෙන ලෙස සභාපති විනිසුරුවරයා නියෝග කළේය.

එසේම සභාපතිවරයා ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න මහතාට සහ එහි අධ්‍යක්ෂ ප්‍රියන්ත ලියනගේ මහතාට නියෝග කර සිටියේ ඔවුන් දෙදෙනා විශේෂයෙන් මෙම විමර්ශනයට සහභාගි වී සාක්ෂිකරු විසින් ලබාදෙන ලද උපකරණ තුළ කොමිසමේ විෂය පථයට සම්බන්ධ පටිගත කරන ලද තවත් සංවාද වෙතොත් උකහා ගන්නා ලෙසය.

පොලිස් විමර්ශන ඒකකයේ පරික්ෂාවට ලක්කිරීමෙන් පසු අද දින ඉදිරිපත් කරන ලද හඬපටය සංස්කරණය වී ඇත්දැයි විමර්ශනය කිරීම සදහා එම සී.ඩි පටය, ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය රජයේ රස පරික්ෂකවරයාට යොමුකරන ලෙසද කොමිසමේ ලේකම්වරයාට සභාපති විනිසුරුවරයා නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.

(මුලාශ්‍ර : අද දෙරණ වෙබ් අඩවිය)