ශ්‍රී ලංකාව ඖෂධ වලින් ස්වයංපෝෂිත කිරීමේ අභියෝගය සහ දේශීය ඖෂධ කර්මාන්තයේ හෙට දවස

December 10, 2021 at 10:47 AM

පසුගිය වසර 2 ක පමණ කාලය තුළ ගෝලීය CoVid-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ ආනයන දුෂ්කරතා හා සීමාවන් හමුවේ රටේ ඖෂධ ඉල්ලුම සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරමින් සිටී. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ ජාතික මණ්ඩලය (National Chamber of Pharmaceutical Manufacturers of Sri Lanka – NCPM) අතර 2017 වසරේදී ඇතිකරගන්නා ලද ගිවිසුම, මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ පුනරුදයට බලපෑ ප්‍රධානතම සාධකයක් ලෙස හැඳින්විය හැකි වේ.

මේ වන විට රටේ ඖෂධ ඉල්ලුමෙන් 15% ත් 20% ත් අතර ප්‍රමාණයක් සපුරාලනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, එම සංස්ථාව සමග ගිවිසුම්ගත වී සිටින (සහ එම සංස්ථාවේ දැඩි ප්‍රමිති නියාමනයන්ට අනුව ඖෂධ නිපදවන) සමාගම් සහ වෙනත් දේශීය සමාගම් විසිනි.

විදේශ විනිමය රට තුළ රඳවා ගැනීම මේ වනවිට ජාතික අවශ්‍යතාවක් බවට පත් වී ඇති අතර, ශ්‍රී ලංකාව ඖෂධ වලින් ස්වයංපෝෂිත කිරීම එහිලා අතිශයින් වැදගත් ය. දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් බලගැන්වීම මගින් පුරවැසියන්ට උසස් තත්ත්වයේ ඖෂධ සහනදායී මිලගණන් යටතේ ලබාදීමට රජයට (රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට) හැකියාව ලැබෙන අතර, එමගින් රට තුළ නව රැකියා අවස්ථා නිර්මාණය වීමද සිදුවේ. කෙසේ වුවද රටට අවශ්‍ය ඖෂධ සියල්ල රට තුළම නිෂ්පාදනය කිරීමට නම් මෙම කර්මාන්තයට සෘජු විදේශ ආයෝජන අවශ්‍ය ය. එමගින් ජාත්‍යන්තර දැනුම හා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති අතර, ඉන්දියානු සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම ක්‍රමෝපායික ලෙස යොදාගනිමින් අපට ලොව ඖෂධ නිෂ්පාදන කේන්ද්‍රයක් බවට පත්වීමටද හැකියාව ලැබෙනු ඇත. ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් අනුරාධපුර, හම්බන්තොට සහ මිල්ලෑව යන ප්‍රදේශ වල ඖෂධ නිෂ්පාදන කලාප 3 ක් පිහිටුවීමේ කටයුතුද මේ වනවිට ආරම්භ වී තිබේ. මේ අතරින් විශාලතම කලාපය වන මිල්ලෑව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කලාපය, අතිනවීන කර්මාන්තශාලා 4 කින් සමන්විත වනු ඇත.

2021 අගෝස්තු 4 දාතමින් යුතුව මාධ්‍ය වෙත නිකුත් කරන ලද ලිපියක් මගින් ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මහතා පෙන්වා දෙන්නේ, මෙම හවුල්කාරීත්වයෙන් උපරිම ප්‍රයෝජන ලැබීමට ඇති විශාලතම බාධාව වන්නේ ඇතැම් පාර්ශ්වයන් ඒ සම්බන්ධයෙන් විවිධ දුර්මත පැතිරවීම බවයි. පරස්පර විරෝධී වාර්තා මගින් ශ්‍රී ලාංකික ජනතාව තුළ සැකසංකා මතුවන ඇති බවත්, එම වාර්තා දේශීය හා විදේශීය ආයෝජකයන් දුර්මුඛ කරන බවත් එම ලිපිය මගින් සමරවික්‍රම මහතා පෙන්වා දී ඇත.

සමරවික්‍රම මහතා පවසන ආකාරයට, දේශීය ඖෂධ ඉල්ලුමෙන් 15% ක් පමණ සපුරාලනු ලබන දේශීය ඖෂධ නිෂ්පාදන වලින් 80% ත් 85% ත් අතර ප්‍රතිශතයක් නිෂ්පාදනය කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමග හවුල්කාරීත්වයට එළඹී සිටින සමාගම් විසිනි. මෙම පාර්ශ්වකරුවන් එක්ව ඖෂධ වර්ග 300 ක් පමණ නිපදවන අතර, එම ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක්කර බෙදාහරිනු ලබයි. මෙම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ යහපැවැත්මට හේතුවන බව පෙන්වා දෙන සමරවික්‍රම මහතා, තත්ත්වය පිළිබඳ නිවැරදි තක්සේරුවක් සිදු නොකර නිගමන වලට එළඹීම සිදු නොකළ යුතු බව අවධාරණය කරයි.

රටේ පිහිටීම අනුව, ආසියානු හා අප්‍රිකානු වෙළඳපොළවල් ඉලක්ක කරගනිමින් එන්නත් නිපදවන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කළ හැකි බවද සමරවික්‍රම මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ Kelun Life Sciences සහ චීනයේ Sinovac Biotech Ltd අතර හවුල්කාරීත්වයක් ලෙස එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා මේ වනවිටත් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකෙරෙමින් පවතී. මෙම හවුල්කාරීත්වයේ දේශීය සමාගම වන Kelun Life Sciences යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම සේලයින් නිෂ්පාදන සමාගම වන අතර, ශ්‍රී ලංකාවේ සේලයින් ඉල්ලුම දේශීයව සපුරාලීමට එම සමාගම මේ වනවිට සමත් වී ඇත.

CoVid-19 ව්‍යාප්තිය ආරම්භ වීමේ සිට මේ දක්වා, එන්නත් නිෂ්පාදකයන් 200 කට අධික පිරිසක් එන්නත් නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටින බව වාර්තා වී ඇත. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව දැනට එන්නත් නිෂ්පාදනය අතින් පෙරමුණේ සිටින අතර, ඇතැම් ලතින් ඇමරිකානු රටවල්ද තම දේශීය ඉල්ලුම 72% ක් දක්වා සපුරාලීමට සමත් වූ ප්‍රධානතම රටවල් 20 අතරට එක්වී තිබේ.

සාධනීය වශයෙන් ඖෂධ සම්බන්ධ රාජ්‍ය ඒකාධිකාරිය ඉවත්කරමින්, ඵලදායී හවුල්කාරීත්වයක් ඔස්සේ පෞද්ගලික අංශයට නව අවස්ථාවන් උදාකර දීම සඳහා ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ ජාතික මණ්ඩලය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අතර ඇති වූ හවුල්කාරීත්වය වැදගත් මෙහෙවරක් ඉටුකර ඇත. මේ ආකාරයට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර පවතින සහයෝගීත්වය, රටේ අනෙකුත් අංශයන්ටද ආදර්ශයක් වනු ඇතැයි ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ ජාතික මණ්ඩලය විශ්වාසය පළකරයි.

රාජ්‍ය අංශයේ විශ්වාසනීයත්වය සහ සුභසාධන ආකල්ප සමග පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාව හා හැකියාවන් ඒකාබද්ධ කිරීම මගින් ශ්‍රී ලංකාවේ ඖෂධ සම්බන්ධ ඉල්ලුම පෙර නොවූවිරූ තරම් දුරකට සපුරාලීමට අවස්ථාව ලැබෙනු ඇත. රජය වෙතින් නිසි මගපෙන්වීම හා සහයෝගය හිමිවන්නේ නම්, ඉදිරි වසර වලදී ශ්‍රී ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය රැගෙන එන ක්ෂේත්‍රයක් බවට පත්වීමට ඖෂධ කර්මාන්තයට හැකියාව තිබේ.