නැවත ක්‍රීඩා කිරීම ගැන ලසිත් මාලිංග සමග පැවති සාකච්ඡාව ගැන තේරීම් කමිටුව කරුණු හෙළි කරයි

May 15, 2021 at 1:48 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අතර සාකච්ඡාවක් පසුගිය දා පැවැත්විණි.

ලසිත් මාලිංග 20-20 ලෝක කුසලානයට ක්‍රීඩා කළ හැකිද යන්න එහිදී සාකච්ඡා වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ එම සාකච්ඡාව ගැන මාධ්‍යට පැවසුවේ මෙවන් අදහසක්.

“මම ලසිත් මාලිංගව හම්බ වෙලා කතා කළා.ඔහු 20යි 20 ලෝක කුසලානය ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවද කියල මම ඔහුගෙන් ඇහුවා. එතකොට ඔහු කිව්වා අවුරුදු එක හමාරකින් විතර ඔහු ක්‍රිකට් ගහල නෑ කියල. මම ඊට පස්සෙ අපේ තේරීම් කමිටුවේ ප්‍රතිපත්ති ගැන ඔහුට පැහැදිළි කළා. මම කිව්වා අපි 2km දුවන ටෙස්ට් එක මිනිත්තු 8යි තත්පර 35ට අඩුවෙන් ඉවර කළේ නැත්නම් ටීම් එකට ගන්නෙ නෑ කියල.

ඒ වගේම Skinfold ටෙස්ට් එකෙන් 85.5 ක් තියෙන්න ඕන කියල පැහැදිළි කළා. තව Domestic ක්‍රිකට් ගහන්න ඕන කියලත් කිව්වා. ටීම් එක selection කරන කාලෙට මේ දේවල් සම්පූර්ණ කරල තිබ්බොත් අපි ඔහු ගැනත් සලකල බලනවා කියල මම මාලිංගට කිව්වා.  ඒවගේම අපි නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන අපේ ප්‍රතිපත්තිය ගැනත් මම මාලිංගට පැහැදිළි කළා. ඒ ඔක්කොම ඔහු අහගෙන ඉඳල ඒ වැඩපිළිවෙළ ගැන ඔහු සතුටුයි කියල මට කිව්වා.

ඒ වැඩපිළිවෙළ දිගටම කරගෙන යන්න කියලත් ඔහු මට කිව්වා. ඊළඟ 20යි 20 ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවක් තියනවද කියන එක මාලිංග මට පැහැදිලිව කිව්වෙ නැහැ.”

(මාධ්‍යවේදී සුමින්ද තාරකගේ සටහනක් ඇසුරෙන්)