තරග පාවා දීමේ චෝදනාවකට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හෙට අධිකරණයට කැඳවයි

March 1, 2021 at 11:46 AM

හම්බන්තොටදී නිමාවට පත්වූ LPL තරගාවලියේදී වාර්තා වූ තරග පාවාදීමේ සිදුවීමකට අදාළ විමර්ශනවලට පෙනී සිටීම මගහැරිය බව කියන ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට හෙට (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව “ලංකාදීප” පුවත්පත වාර්තා කර සිටිනවා.

ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය කළ පැමිණිල්ලකට අනුව ඔහු අධිකරණය හමුවට කැඳවීමට තීරණය කර ඇත.

හම්බන්තොටදී නිමාවට පත්වූ LPL තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් ඒ සම්බන්ධයෙන් දැනටමත් ප්‍රකාශ ලබා ගෙන ඇත.

එහෙත් අදාළ සිදුවීම තරග පාවාදීමේ සිදුවීමක් දැයි හෙළිකර ගැනීම සඳහා ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ අනුව මෙම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා අධිකරණය හමුවට කැඳවීමට තීරණය කර ඇත.

අධිකරණය හමුවට කැඳවීමට යන ක්‍රීඩකයා LPL තරගාවලියට සහභාගී වී සිටි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාටම ඩුබායි නුවර සිට ජංගම දුරකථනය ඔස්සේ ඇමතුම් ලබාගෙන ඇතැයි වාර්තා වී ඇත. පසුව ක්‍රීඩකයින් දෙදෙනා කළ දැනුවත් කිරීමකට අනුව ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දුෂණ මර්දන ඒකකය ද සහය කරගනිමින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

චෝදනාවට ලක්ව සිටින හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයා විදේශගතව සිට මේ වනවිට දිවයිනට පැමිණ සිටින බවත් ක්‍රීඩා වැරදි විමර්ශන පොලිස් ඒකකයේ දැනුම්දීමකට අනුව ඔහු මුල් අවස්ථාවේදී විමර්ශනවලට සහය පළ කරමින් තමන් සන්තකයේ තිබු ජංගම දුරකථන දෙකක්ද නීතිඥයින් මාර්ගයෙන් එම ඒකකයට භාරදී ඇත.

එහෙත් පසුව තහවුරු වී ඇත්තේ එම දුරකථන ඔහුට අයත් ඒවා නොවන බවයි.

තමන් නීතිඥ සහය ලබා ගනිමින් විමර්ශනවලට පෙනී සිටින බව ඔහු ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකයට දිගින් දිගටම දැනුම්දීම කර තිබුණත් එය මෙතෙක් ඉටු නොවුණු බැවින් 2009 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ අධිකරණය හමුවට කැඳවීමට තීරණය කර ඇත්තේ.

(මුලාශ්‍ර : ලංකාදීප)