ජනාධිපති කොමිෂන් සභාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක්වුවාදැයි සොයා බලන්න : නීතිඥවරුන් සිව්දෙනෙකුගෙන් පැමිණිල්ලක් (VIDEO)

March 1, 2021 at 3:14 PM

දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි, අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා නීතිඥවරු 4 දෙනෙක් අද අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ, 2015 ජනවාරි 8 වැනිදා හා 2019 නොවැම්බර් 19 වැනිදා කාලය අතරතුරදී සිදුව ඇතැයි, කියන දේශපාලන පළී ගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් යුක්තිය අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්තේ ද යන කරුණු පිළිබඳව මෙන්ම අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම්වලට එමගින් හානියක් සිදුවී ඇත් ද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

නීතිඥ සේනක පෙරේරා, අචලා සෙනෙවිරත්න, නාමල් රාජපක්ෂ හා තම්බයියා ජෙයරත්නරාජා යන නීතිඥවරුන් සිව් දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මගින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.