කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කොට ඩෙංගු මාරායට පරාදවූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා

February 28, 2021 at 10:37 PM

කොවිඩ්-19 මර්ධන රාජකාරියේදී ඉදිරි පෙළ සිටමින් ඉතා භාරදුර සේවයක් ඉටුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ඩෙංගු රක්තපාත රෝගී තත්ත්වයට ගොදුරු වීමෙන් ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වනවා.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් පයාගල, පොතුවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයා වශයෙන් සේවය කළ රුචිත බණ්ඩාර මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඩෙංගු රක්තපාත තත්ත්වය හේතුවෙන් ඊයේ දහවල් මියගොස් තිබෙනවා.

2016 වසරේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයෙන් වසර 5ක පුහුණුවෙන් පසුව කළුතර සෞඛ්‍ය විද්‍යායතනය ට අනුබද්ධව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වශයෙන් මියයන තෙක්ම ඔහු සේවය කරමින් ඩෙංගු රෝගයේ මෙන්ම කොවිඩ් -19 වෛරසය පැතිරයාම වැළැක්වීමේ කටයුතු වලදී කැප වී සේවය කළ අයෙකු ලෙස ප්‍රදේශයේ ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන අයෙකු ද වනවා.

පසුගිය වසරේ විවාහ දිවියට එලඹී ඔහු ඉන් පසුව කැලණිය ප්‍රදේශයේ පදිංචියට යෑමෙන් පසු ඔහු මිය යන තෙක්ම කැළණිය ප්‍රදේශයේ සිට බේරුවල ප්‍රදේශයට පැමිණ සිය රාජකාරි කටයුතු වල යෙදී සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස ඩෙංගු රෝගයට ගොදුරුවීමෙන් ජිවිතක්ෂයට පත්වුවා.

මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රුචිත බණ්ඩාර මහතා විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගේ පවුලේ සාමාජිකයෙකු වනවා.