ලෝක වෙළෙඳ පොළට ජලය අපනයනය කිරිමට රජයේ අවධානය – ඇමති බන්දුල කියයි

February 23, 2021 at 12:57 AM

ජලය අපනයනය කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමුව තිබෙන බවත් ඒ සඳහා වන පර්යේෂණ මේ වන විටත් සිදුකරමින් පවතින බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

සාම්ප්‍රදායික අපනයන භාණ්ඩවලට අමතරව ජලය අපනයනය කිරීමෙන් හොද විදේශ විනිමයක් උපයා ගත හැකි බවත් ජපානය සහ ප්‍රංශය ලෝක වෙළෙඳපොළට ජලය සැපයීමෙන් විශාල ආදායමක් උපයන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් නුවරඑළිය හෝප් දිය බුබුළ සම්බන්ධයෙන් හන්තාන මුලික අධ්‍යයන ආයතනයේ මහාචාර්යවරු කණ්ඩායමක් සිදුකළ පර්යේෂණ අධ්‍යයන වාර්තාව එළිදැක්වීම නිමිත්තෙන් එම ආයතනයේදී පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

එම පර්යේෂණයට අනුව එම දිය බුබුළේ ජලය පිරිපහදුවට ලක් නොකර පානය කළ හැකි බව තහවුරු කර ඇත.

ශ්‍රී ලංකාව ජලය අතින් පොහොසත් රටක්. ජල කළමනාකරණයෙන් හා ජලය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යෑම පිළිබඳව එතිහාසික උරුමයක් අප සතුව ඇති බැවින් ජල ආර්ථිකයක් ගොඩනැගීමට අසිරු නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

SLS ප්‍රමිති සහතිකය නොමැතිව පයිප්පවලින් වතුර බෝතල් කර විකුණන අවස්ථා ඇති බව පැවසූ ඇමතිවරයා දේශීය පාරිභෝගිකයින් සඳහා උසස් තත්ත්වයේ ජලය සැපයීමට අවධානය යොමු කරන අතර වාරයේ ජලය අපනයනය මගින් අපනයන ආදායම ඉහළ නංවා ගැනීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.