පාස්කු කොමිසමේ වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට : අද පාර්ලිමේන්තුවට

February 23, 2021 at 8:26 AM

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ඇමැති මණ්ඩලය ඊයේ රාත්‍රියේ තීරණය කළේ.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට කාදිනල් හිමිපාණන් ඇතුළු විවිධ පාර්ශ්ව බලපෑම් කළ අතර එම වාර්තාව ජනාධිපතිවරයා විසින් ඊයේ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා පත් කළ ඇමැති කමිටුවද ඊයේ පස්වරුවේ රැස් විය. එම අධ්‍යයන කමිටු වාර්තාව මාර්තු 15 වැනි දින ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබුණා. එම කාලයට ප්‍රථම කමිටු වාර්තාව ලබා දීමට මෙහි දී තීන්දු කර ඇත.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමේ සය පුද්ගල කමිටුවේ සාමාජිකයන් තෝරා ගනු ලැබූයේ ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද, විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක සැලකිල්ලට ගනිමින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයන්ට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පරිපාටිය ප්‍රකාර සිදුවන බවත් ඊට මැදිහත්වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකෙරෙන බවත් එම නිවේදනයේ සඳහන් වන්නේ.