මාව වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යන්න – සිරගත කළ රංජන් පළමු වරට කියයි : රංජන් ගේ මන්ත්‍රීධුරය සුරක්ෂිත වුනත් ජීවිතය අවධානම් – විපක්ෂ නායක (VIDEO)

February 22, 2021 at 8:14 PM

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධූරය සුරක්ෂිත වුවත් ඔහුගේ ජීවිතය අවදානමක පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පෙරවරුවේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙතගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලුවා.

“රන්ජන් රාමනායක මහතා අදටත් ඉදිරියටත් මන්ත්‍රීවරයෙක්. කථානායකවරයාගේ වගකීම වන්නේ රන්ජන් රාමනායක මහතාව වහාම පාර්ලිමේන්තුවට ගෙන්වීම. එතුමගේ අයිතීන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. මෙම ස්ථානයේ රන්ජන් රාමනායක මහතාව තබා ගැනීම එතුමාගේ ජීවිතයට තර්ජනයක්.” මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමණායක, මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සෑම විටම තම මතය ප්‍රකාශ කර තිබෙන අතර ඔහු සිරගත කර සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ සහායකයන් සිටින සිර මැදිරියක බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ජීවිතයට මෙය තර්ජනයක් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායක මහතා පසුගිය සතියේ රෝහලට ගෙන යන විට මාධ්‍යවේදීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සඳහන් කර සිටියේ තමන්ව වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යැවීමට බන්ධනාගාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.