කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පාර්ලිමේන්තු රැස්වීම් ගැන තීරණයක්

January 18, 2021 at 12:04 PM

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද   කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී තීරණයකලේ හෙට සහ අනිද්දා පමණක් රැස්වීමටයි.

 

එම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ද සහභාගී වූ බව පාර්ලිමේන්තු  සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදුකෙරුණු PCR පරීක්ෂණ යටතේ 943 දෙනෙකු පරීක්ෂාවට ලක්කළ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32ක් සහ අනෙකුත් කාර්යාංශ, අනුබද්ධිත කාර්යාංශ, ආරක්ෂක අංශවලට අයත් 911 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර තිබේ.

ඒ අතරින් මන්ත්‍රීවරුන් කිසිවෙකු ආසාදිත නොවන බවට තහවුරු වී තිබේ.

පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් 5 දෙනෙකු, ආරක්ෂක අංශයට අයත් එක් අයෙකු, පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත 3 දෙනෙකු ද වශයෙන් 9 දෙනෙකු ආසාදිත බවට තහවුරු වී තිබිණ .

අද මෙම කාරක සභා රැස්වීම කැඳවනු ලැබුවේ එම පසුබිම මත ඉදිරි රැස්වීම් පැවැත්වෙන ආකාරය සාකච්ඡා කිරීමටයි.