හිටපු ජනාධිපතිට, වත්මන් ජනපතිගෙන් ආරාධනාවක්

January 16, 2021 at 3:25 PM

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරන කාලය තුළදී පෙළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ගම්මානයක් වන බිසෝපුර, වෙඩික්කච්චි ගම්මානයේ දරුවන්ට ඉගෙනීමට හැදූ පාසල විවෘත කිරීම ජනාධිපතිතුමාගේ ගම සමග පිළිසදරක් වැඩසටහන සමග අද දින (16) සිදු කිරීමට සැලසුම් කර තිබුණා.

මෙම උත්සවය සදහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ද ඇරයුම් ලැබී තිබු අතර ඒ අනුව එය පිළිගෙන අද ඔහු එම ස්ථානයට ගොස් සිටියා.

පාසැල විවෘත කිරීම නියමිතව තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් වුවත් හිටපු ජනාධිපතිවරයා එම ස්ථානයේ සිටින බැව් දුටු ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයාට ඒ සඳහා අවස්ථාව ලබා දුන්නේ ” හදපු කෙනාම මෙය විවෘත කරන්න” යැයි ආරාධනාවක් ද කරමින්ය.

දේශපාලනඥයන් හැමවෙලේම වෙනත් දේශපාලඥයින් මුල්වී ආරම්භ කළ ව්‍යාපෘති සඳහා තමන්ගේ නම යොදා ගැනීමට උත්සුක වන කාලවකවානුවක වත්මන් ජනාධිපතිවරයාගේ මහත්මා දේශපාලනය සම්බන්ධයෙන් අද සියලු දෙනාට ලබා දුන්නේ කදිම පාඩමක් බවයි බොහෝ දෙනාගෙන් මතය වුයේ.

මෙම විවෘත කිරීමෙන් පසු ජනපතිවරයා ජනතා ප්‍රශ්න විමසා බැලීමේ වැඩසටහනට එක්වූ අතර, ඉඩම් වගාකිරීම සම්බන්ධ හා අලිමිනිස් ගැටුම සම්බන්ධ ගැටලු රැසකට විසඳුම් ලබා දෙනු ලැබුවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඇරයුමින් මේ අවස්ථාව ඇමතූ අතර රජයේ ප්‍රතිපත්තිමය තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් කටයුතුකරනු ඇතැයි විශ්වාසය පළකරනු ලැබුවා.