රද්දොළුගම පොලිසියෙන් කොවිඩ් ආසාදිත නිලධාරීන් 15ක් : මහනුවර දළදා මාළිගාවේ පිහිටි පොලිස් මුරපොලේ නිලධාරීන් පිරිසකටත් වෛරසය ආසාදනය වෙයි

January 16, 2021 at 7:49 PM

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ආරක්ෂාවට පිහිටුවා ඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් ආශ්‍රිතව සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂනයෙන් එහි නිලධාරීන් කිහිපදෙනෙකුම කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති බව වාර්තා වනවා. මෙම ආසාදිත නිලධාරීන් සෘජුවම මහජනතාව සමග ගැටෙන රාජකාරි සඳහා යොදවා නොසිටි බවයි උසස් පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කළේ.

රද්දොළුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 15 දෙනෙකුට සහ කටුනායක අධිවේගී මාර්ග පොලීසියේ නිලධාරීන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම සියලූ නිලධාරී නීරෝධායනය සදහා ඔවුන්ගේ නිවෙස් වල සහ රජයේ රෝහල් වෙත යොමු කළ බවයි එම ප‍්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර පැවසුවේ.

මේ හේතුවෙන් රද්දොළුගම සහ කටුනායක අධිවේගී මාර්ග පොලීසියේ රාජකාරී ආවරණය කිරීම සදහා මේ වනවිට වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කළ බව පොලිසිය සදහන් කළා.

මේ අතර ඉංගිරිය බොරළුගොඩ කර්මාන්තපුරයේ කර්මාන්තශාලා 03ක් තාවකාලිකව වසා දැමුණා. එම කර්මාන්තශාලා සේවකයින් 435 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර බවයි ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ. එම කර්මාන්තපුරයේ කර්මාන්තශාලා 05කින් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු හදුනා ගැනීම ඊට හේතුවී තිබෙනවා.