නාගොඩ රෝහලේ කොරෝනා වාට්ටුවේ සිටි දෙදෙනෙකු පළා ගිහින් : දිවයින පුවත්පත වාර්තා කරයි

January 16, 2021 at 9:11 AM

කොරෝනා සැකසහිත වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක සහ තවත් පුද්ගලයකු ඊයේ (15) දහවල් රෝහලින් පැනගොස් ඇතැයි නාගොඩ මහ රෝහල් ප‍්‍රකාශකයකු සඳහන් කළ අතර මේ බව රෝහලේ පරිපාලන නිලධාරිනිය ද තහවුරු කළ බවයි දිවයින පුවත්පත වාර්තා කර සිටින්නේ.

කොරෝනා සැකසහිත රෝග ලක්‍ෂණ මතුවීම හේතුවෙන් ජනවාරි 14 වැනිදා රෝහල්ගත කර ඇති කාන්තාව එදිනම පී.සී.ආර් පරීක්‍ෂණයකට යොමුකර ඇති අතර පරීක්‍ෂණ වාර්තා ලැබීමටත් මත්තෙන් ඇය පැනගොස් තිබේ.

ඊයේ පෙරවරුවේ වාට්ටු අංක 3 ට ඇතුළත් කර ඇති පිරිමි පුද්ගලයා ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂණයක් සිදුකිරීම සඳහා සොයා බැලීමේදී පැනගොස් ඇතැයි තහවුරු වී ඇති බව පැවසෙයි.

මෙසේ රෝහලින් පැනගොස් ඇත්තේ උතුරු කළුතර සුජාතා වැඩිහිටි නිවාසහි පදිංචි 22 හැවිරිදි කාන්තාවක සහ අගලවත්ත යටියන ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

පැනගොස් ඇති අය සොයා පොලිසිය සහ සෞඛ්‍ය අංශ පරීක්‍ෂණ සිදුකරන බව පොලිස් නිලධාරියෙක් පැවසුවේ.

(දිවයින පුවත්පත)