ලංකාවට පැමිණි පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන නව කොවිඩ් ප්‍රභේදය නොවේ

January 13, 2021 at 8:25 AM

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ බවට සැකපිට මෙරටට පැමිණි පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුකළ සායනික පරීක්ෂණයෙන් පසු ඔහුට ආසාදනය වී ඇත්තේ එම වෛරස් ප්‍රභේදය නොවන බවට තහවුරු වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු ඔහුට VUI-202012/01 ලෙස හඳුන්වන නව වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇත්ද යන්න සැකයක් ඇතිවීමෙන් පසු සිදුකළ පරීක්ෂණයෙන් එම පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ එම වෛරස් ප්‍රභේදය නොවන බවට තහවුරු වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වුවත් එම ආසාදිත පුද්ගලයාගේ ජෛව සාම්පල් නියැදිය සම්බන්ධයෙන් තවත් පර්යේෂණයක් සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, ජපානය ඇතුළුව යුරෝපයේ රටවල් රැසකින් මෙම වෛරස් ප්‍රභේදය වාර්තා වී ඇති අතර මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව නව වෛරස් ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ අගය සීයයට 50 කින් වැඩි බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.