ජනවාරි 26 වෙනිදායින් පසුව ඉන්දීය කොරෝනා එන්නත ලංකාවට – අරුණ පුවත්පත වාර්තා කරයි

January 13, 2021 at 8:07 AM

ජනවාරි 26 වැනි දිනෙන් පසු ඕනෑම මොහොතක ඉන්දියාවේ නිෂ්පාදනය කරන ‘ඇස්කා සෙනිකා’ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව කොවිඩ් එන්නත් ගෙනඒම සඳහා පත් කළ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසනවා.

මෙම එන්නත ඉන්දීය වැසියන්ට 16 වැනිදා සිට එන්නත් කිරීමට නියමිතය. ඉන්පසු ඉන්දීය ජනරජ දිනය යෙදී ඇති ජනවාරි 26 වැනිදා සිට වෙනත් රටවලට අපනයනය කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත. එන්නත ශ්‍රී ලංකාවට ලැබීමෙන් පසු එන්නත්කරණය සඳහා වූ සැලසුම මේ වනවිට සකස් කරමින් පවතියි. දිවයින පුරා සෞඛ්‍ය ආයතන 1050 පිහිටා ඇත. එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන නිසා එන්නත් ලබාදීමේ මධ්‍යස්ථාන 4000ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. එම ස්ථානවල ඇඳන් මෙන්ම ගිලන් රථද සූදානම් කර තැබීමට නියමිතය. ඒ එන්නත ලබාගත් පුද්ගලයකු අසාත්මිකතාවකට පත්වුවහොත් කඩිනමින් ප්‍රතිකාර කිරීම සඳහාය. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති පරිදි ජනගහයෙන් සියයට විස්සකට එන්නත් ලබාදීමට නියමිතය. ශ්‍රී ලංකා ජනගහනයෙන් ලක්ෂ තිස් අටක් එමගින් ආවරණය වෙයි. මෙම පිරිස මැතිවරණ කාර්යාල තොරතුරු මත පදනම්ව සකස් කර ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් නම්කර ඇත.

එන්නත් ලබාදීම සඳහා සැලසුම් කර ඇති මධ්‍යස්ථාන 4000න් එක් ස්ථානයකදී දිනකට පුද්ගලයන් 250කට එන්නත් ලබාදීමට නියමිතය. ඒ අනුව දින තුනක් ඇතුළත එන්නත් ලබාදීම අවසන් කරන අතර ඒ සඳහා සෞඛ්‍ය සේවකයන් පුහුණු කිරීම මේ වනවිට ආරම්භ කර ඇත. ‘‘ඇස්කා සෙනිකා’ එන්නත් මාත්‍රා දෙකක් එක් පුද්ගලයකුට ලබාදීමට නියමිත අතර ඒ සඳහා එන්නත් සිලින්ජර් ලක්ෂ 26ක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබේ. පුළුන්, ඇල්කොහොල්, එන්නත් ලබාදෙන සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය ඇඳුම්, පැලඳුම්ද අවශ්‍ය තරම් සම්පාදනය කර ගනිමින් එන්නත්කරණය ආරම්භ කළ යුතුය.

මෙම ද්‍රව්‍ය සායනික අපද්‍රව්‍ය වන බැවින් විනාශ කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමටද රජය තීරණය කර ඇත.

(අරුණ පුවත්පත)