ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වැටලීමකින් කුඩු විකුණා ඉපැයූ මිලියන 12ක මුදල් හා රන් පවුම් 40ක් CID අත්අඩංගුවට

January 13, 2021 at 8:02 AM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේදී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් සහ රත්තරන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් සතුව තිබී රුපියල් එක් කෝටි විසිහය ලක්ෂයක මුදලක් සහ රත්‍රං පවුම් 40ක් තිබී සොයා ගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

අත්අඩංගුවට ගනු ලැබූ එක් සැකකරුවෙකු ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිද්ධික් යන අයගේ ගෝලයෙක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගෙන ඇත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කොස්ගොඩ ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 20ක් සොයා ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය කවුරුන් විසින් එම ස්ථානයේ සඟවා තැබුවේද යන්න සම්බන්ධයෙන් විමර්ෂණය කරන බවත් සොයා ගනු ලැබූ හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙතට භාරදී තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.