Atlas My Shop හරහා නව පාසල් වාරයේ දී පාසල් දැන් පොත් ලැයිස්තුව ගෙදරටම ගෙන්වා ගැනීමේ පහසුව

January 12, 2021 at 12:05 PM

මෙරට ජනප්‍රියතම හා විශාලතම අධ්‍යාපන හා ලිපිද්‍රව්‍ය උපකරණ නිෂ්පාදන සැපයුම්කරු වන ඇට්ලස් සමාගම පසුගියදා තමන්ගේ ම මාර්ගගත අලෙවි පියසක් (online store) විවෘත කිරීමට පියවර ගන්නා ලදී. Atlas Myshop ලෙස නම් කර ඇති මෙම මාර්ගගත අලෙවි පියස, හේමාස් හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය අතින් නිල වශයෙන් විවෘත විය. Atlas Myshop (www.atlas.lk/myshop) පැය විසි හතර පුරා ම ක්‍රියාත්මක වන බැවින් නව පාසල් වර්ෂය සඳහා තම දරුවන් සූදානම් කරන දෙමාපියන්ට ඉතා පහසුවෙන් ඔවුන්ට අවශ්‍ය සියලු පාසල් උපකරණ එක ම තැනකින් මිලදී ගැනීමේ හැකියාව උදා වී තිබේ. ඒ අනුව නිවසේ සිටියදී ම www.atlas.lk/myshop වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ආරක්ෂිතව හා පහසුවෙන්, සියලු ශ්‍රේණිවලට අදාළ පාසල් පොත් ලැයිස්තු ක්ෂණයකින් මිලදී ගත හැක.

“අලුත් පාසල් වාරයකදී දරුවන් ඊට සූදානම් කිරීම කොයිතරම් දුෂ්කර කටයුත්තක් දැයි මවක් වශයෙන් මම හොඳින් ම දන්නවා. එම නිසා පාසලට අවශ්‍ය මුළු පොත් ලැයිස්තුව ම මාර්ගගත තාක්ෂණය (online) හරහා මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම ඇත්තටම විශිෂ්ට හඳුන්වාදීමක්. හේමාස් සමූහය ක්‍රියාත්මක වන්නේ ‘සෞඛ්‍ය සම්පන්න දිවියකට මග’ යන එහි මුලික අරමුණ පෙරදැරි කරගනිමිනුයි. Atlas Myshop හඳුන්වාදීමත් එම අරමුණ හා හොඳින් බද්ධ වෙනවා. විශේෂයෙන් ම නැවත පාසල් වාරය ආරම්භ කිරීමට සැරසෙන මේ මොහොතේදී ආරක්ෂිත, පහසු හා කාර්යක්ෂම ක්‍රමවේදයකට අවශ්‍ය දෑ මිලදී ගැනීමට සැලසීමෙන් සෞඛ්‍යාරක්ෂිත ජීවිතයකට මඟ පෑදීමටත් අපට හැකි වී තිබෙනවා”, යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පැවසුවාය.

මේ අතර නව හඳුන්වාදීම පිළිබඳ අදහස් දක්වමින් ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා පැවසුවේ, Atlas Myshop හරහා නව පාසල් වාරය සඳහා අවශ්‍ය දෑ මිලදී ගැනීම අතිශය පහසු හා සරල ක්‍රියාවලියක් බවට පත්ව ඇති බව ය. “දෙමාපියන් කළ යුත්තේ තම දරුවන්ගේ ශ්‍රේණිය තෝරාගැනීම පමණයි. ඒ ඒ ශ්‍රේණියට අදාළ සම්පූර්ණ පොත් ලැයිස්තුව ම එකට ගොනු කර තිබෙන නිසා ඉතාම පහසුවෙන් තම මිලදී ගැනීම් කටයුතු කළ හැකියි. ඒ වගේම Atlas Myshop සමඟ ලියාපදිංචි වන පාරිභෝගිකයින්ට ඉදිරියේදී විශේෂ ප්‍රතිලාභ පිරිනැමීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය හා බැඳුණු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් වශයෙන් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරිභෝගික ප්‍රවේශය තවත් වැඩිදියුණු කිරීමට හැකිවීම පිළිබඳ අපි මහත් සතුටට පත්වෙනවා. වර්තමානයේ උද්ගතව ඇති වාතාවරණය තුළ වඩාත් ආරක්ෂිතව නව පාසල් වාරයට අවශ්‍ය දෑ මිලදී ගැනීමටත් දෙමාපියන්ට හා දරුවන්ට මෙය විශාල පිටිවහලක් වෙනවා”, සමරවීර මහතා තවදුරටත් විස්තර කළේය.

Atlas Myshop, ඇට්ලස්හි ප්‍රධාන වෙබ් අඩවිය (www.atlas.lk) හා සම්බන්ධ වේ. එම නිසා පාසල් උපකරණ හා ද්‍රව්‍ය මිලදී ගැනීමට අමතරව, ඇට්ලස් වෙබ් අඩවියේ අන්තර්ගත කර ඇති ඉගෙනුම් ආධාරක මූලාශ්‍ර වෙත පිවිසීමෙන් සතුටින් ඉගෙන ගැනීමේ අවස්ථාව ද සිසු දරුවන්ට හිමි වේ. මෙම ඉගෙනුම් මූලාශ්‍රයන්හි කලාත්මක සහ අත්කම් නිර්මාණ ක්‍රියාකාරකම් මෙන්ම පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ම නිර්මාණය කළ විශේෂ වීඩියෝ පාඩම් මාලා රැසක් ද පෙළගස්වා තිබීම කැපී පෙනේ.

සිලෝන් පෙන්සිල් කම්පැනි පුද්ගලික සමාගම ලෙස මුල්කාලීනව හැඳින්වූ ඇට්ලස් ඇක්සිලියා සමාගම, 1959 වසරේ ආරම්භ වූ අතර, එතැන් පටන් පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය නිෂ්පාදනයේ මෙරට වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස වර්ධනය විය. විනෝදාත්මක ඉගෙනුම් රටාවක් බිහිකිරීම වෙනුවෙන් කැප වී සිටින ඇට්ලස් සන්නාමය හා ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් අතර පවතින දැඩි සබඳතාවය ද, 2020 ජනතා සම්මාන උළෙලේදී (People’s Choice Awards) ඇට්ලස්, අංක එකේ පාසල් උපකරණ සන්නාමය ලෙස අභිෂේක ගැන්වීමෙන් මනාව පිළිබිඹු වේ. ඊට අමතරව ආයතනික විශිෂ්ටත්වය වෙනුවෙන් 2018 ජාතික තත්ත්ව සම්මානය හා 2019 ගෝලීය කාර්යසාධන විශිෂ්ටතා සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබීමට ද ඇට්ලස් ඇක්සිලියා සමාගම සමත් වී ඇත.