සේරුවාවිලට අමතරව ලංකාවේ තවත් රත්තරන් නිධි 04ක් ඇති බව මහාචාර්යවරයෙක් කියයි

January 12, 2021 at 5:27 AM

සේරුවාවිල ප්‍රදේශයට අමතරව දිවයිනේ තවත් ස්ථාන හතරක භූමි අභ්‍යන්තරයේ රත්තරන් තිබෙන බවට පර්‌යේෂණවලින් අනාවරණය වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල මෙම රන් නිධි පිහිටා ඇති බව හඳුනාගෙන තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානය, කැනඩාව, අයර්ලන්තය ආදී පර්‌යේෂණ මධ්‍යස්ථානවල කරන ලද කැණීම්වලදී මෙරට භූමියේ රත්තරන් තිබෙන බව අනාවරණය වී ඇත.

සේරුවාවිල ප්‍රදේශයේ යකඩ පිහිටි ස්ථානවල සිට කිලෝමීටර් තුනක් හතරක් පමණ දුරින් රත්තරන් පිහිටා තිබෙන බවද ඔහු කීවේය.

සේරුවාවිල ප්‍රදේශය ආශ්‍රිත රත්තරන් තිබෙන බවට මුලින්ම අනාවරණය කර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හැකි වූ බවත්, පොළොව මතුපිට සිට අඩි 600ක් පමණ කැණීම් සිදු කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය කරගත් බවත් හෙතෙම කියයි.

අදාළ ප්‍රදේශවල ගල් ටොන් එකක් කැණී​මේ දී රත්තරන් ග්‍රෑම් දශම ගණන්වල සිට ග්‍රෑම් පහක් පමණ හමුවන බවත්, මේ පිළිබඳ තවදුරටත් පර්‌යේෂණ කළ යුතුව ඇති බවත් අවධාරණය කෙරේ.නැගෙනහිර පළාතට අමතරව අනෙක් පළාත්වල වර්ග කිලෝමීටර් හතරක, පහක පමණ ප්‍රදේශයක රත්තරන් විහිදී තිබෙන බවත් රජයේ හෝ වෙනත් ආයතනයක අනුග්‍රහය ලැබෙන්නේ නම් පුළුල් ලෙස තවදුරටත් කැණීම් සිදුකළ හැකි බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කළේ.

(අරුණ පුවත්පත)