හෙට සහ අනිද්දා මුළු පාර්ලිමේන්තුවටම ඇන්ටිජන් පරීක්ෂණ

January 11, 2021 at 9:45 AM

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා හෙට සහ අනිද්දා යන දිනයන්හිදී ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට (ඇන්ටිජන් පරික්ෂණයකට) ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඉන් පසුව ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇන්ටිජන් පරික්ෂණයට ලක් කිරීමට තීරණයක් ගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

කොවිඩ් ආසාදිත දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ නැති අතර රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට පැමිණ ඇත. අගමැති දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ පසුගිය ජනවාරි මස 08 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණ සභා නායක කාර්යාලයේ නිධාරීන් කිහිප දෙනෙකු හමුවී තිබේ.

රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ සංචාරය කළ තැන් සහ ආශ්‍රය කළ පුද්ගලයන් සොයා සී.සී.ටී.වී. දර්ශන පරික්ෂා කර ඇත. එහිදී අනාවරණය වී තිබෙන්නේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ රැඳී සිට ඇත්තේ පැය දෙකක පමණ කාලයක් පමණක් බවයි. එම කාලයේ ද ඔහු වැඩි වේලාවක් සභා ගැබ තුළ සිට ඇත. සභා ගැබ තුළ සිටින කාලයේදී හකීම් මන්ත්‍රීවරයා මුව ආවරණයක්ද පැලඳ නොසිටි බව සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ නිරීක්ෂණය වී ඇත. කෙසේ වෙතත් දිවා ආහාරයද නොගෙන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගොස් තිබේ. සභා ගැබෙහි හකීම් මන්ත්‍රීවරයාගේ ආසනයට වම්පස අසුනේ සිටන්නේ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාය. දකුණු පස අසුන තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගේය.

හකීම් මන්ත්‍රීවරයා සමග සමීපව කතා බහ කළ බව කියන එම්.ඒ.සුමන්තිරන්, ශානක්‍ය රාසමානික්කම්, තලතා අතුකෝරළ සහ ගයන්ත කරුණාතිලක ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ අනාවරණය වී ඇත. මෙම මන්ත්‍රීවරුන්ට සහ කුමාරසිරි හෙට්ටිගේ සමීපව ඇසුරු කළ නිලධාරීන්ටද පී.සී.ආර්. පරික්ෂණ සිදු කරන ලෙස හා නිරෝධායනය වන ලෙස දැනුම්දී ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාන කීපයක් විෂබීජහරණය කිරීමටද පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ.