පාලක මණ්ඩලයේ මානසික පිඩාව දරා ගන්න බැහැයි කියා මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි (VIDEO)

December 17, 2020 at 3:55 PM

පාකිස්ථාන වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට නිවේදනය කර සිටිනවා.සිය සමුගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් එල්ලවෙන මානසික වදය තමන්ට දරා ගැනීමට නොහැකිවීම ඊට හේතුව වූ බවයි.

පාකිස්ථානයේ නවසීලන්ත තරග සංචාරය සඳහා වූ සංචිතයට තමන්ව ඇතුලත් කර නොගැනීම එහි පළමු සංඥාව බවට තේරුම් ගැනීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට මොහොමඩ් අමීර් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

පසුගිය වසරේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් නිවේදනය කළ 32 හැවිරිදි දකුණත් වේග පන්දු යවන්නා ඊයේ දිනයේදී අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා.

” මම ඉදිරියේදී පාකිස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අදහසක් නැහැ. මම දිගටම ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා. නවසීලන්ත තරග සංචාරය සඳහා නම් කළ 35 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට මාව තෝරා ගෙන නැහැ. මම හිතන්නේ එය මට ලද පළමු සංඥාවයි කියලා.

වත්මන් පරිපාලනය යටතේ මට ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට ඉඩ ලැබේ කියා මා සිතන්නේ නැහැ. මට මානසිකව දැඩි පීඩනයක් එල්ල කළා. එවැනි දේ මට දරා ගෙන ක්‍රීඩා කිරීමට අපහසුයි. 2010-2015 කාලයේ දී මම එය හොදින් අත්දැක්කා. පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය මා වෙනුවෙන් බොහෝ වියදම් කළා කියා නිරන්තරයෙන්ම කියනවා. නමුත් මම ෂහිඩ් අෆ්රිඩිට ස්තුතිවන්ත වෙනවා. මාගේ තරග තහනමෙන් පසුව යලි ක්‍රීඩා කිරීමට අවකාශය ලබා දුන්නේ ඔහුයි.” මොහොමඩ් අමීර් ප්‍රකාශ කර සිටියා,

පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 30 කදී කඩුලු 119ක්, එක්දින තරග 61 කදී කඩුලු 81ක් සහ විස්සයි -20 තරග 50 කදී කඩුලු 59ක් දවා ගැනීමට මොහොමඩ් අමීර් සමත්ව තිබෙනවා.