අවිශ්කගේ සුපිරි ඉනිම ජැෆ්නා පිලට ජය ගෙන එයි

November 28, 2020 at 9:36 AM

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත්විය. හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ ඊයේ පැවැති තරගයේදී ජැෆ්නා ස්ටැලියන් පිල වෙතින් පරාජයට පත්වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් පිලයි.

අවිෂ්ක ප්‍රනාන්දු (92*) ගොඩනැගූ අනගි ඉනිම ජැෆ්නා ස්ටැලියන් පිලට සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ශක්තිමත් අඩිතාලමක් විය. යොවුන් ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු සිය ලකුණු 92 රැස් කළේ පන්දු 63 කදීය. අවිෂ්කගේ ඉනිම හතරේ පහර පහකින් සහ හයේ පහර හතකින් වර්ණවත් විය.

යාපනය පිල ලකුණු 176 ක ජයග්‍රාහි ඉලක්කය පන්දුවාර 19.3 කදී කඩුලු දෙකක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

අවිෂ්ක සහ ෂොයිබ් මලික් (නොදැවී 27) තෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩ නැගීම ද විශේෂිතය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී සිටින 40 හැවිරිදි සහිඩ් අෆ්රිඩි පන්දු 23 කින් හතරේ පහර තුනක් සහ හයේ පහර හයක් සමගින් ලකුණු 58 ක් රැස්කිරීම විචාරක කතාබහට ලක්විය.