කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ණය මාලා ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් අතිරේක මූල්‍ය ආධාර ලබාගැනීම

October 27, 2020 at 5:20 PM

කොවිඩ් වසංගතය හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට එල්ල වී ඇති අයහපත් බලපෑම හේතුවෙන් පැන නැඟි ඇති තත්ත්වයන්ට පිළියම් යෙදීම සඳහා ගත යුතු පියවරයන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක හදිසි ප්‍රතිචාර සංරචකයක් ද ඇතුළුව ඇමරිකානු ඩොලර් මිලියන 165ක ණය මුදලක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත. එසේම එම ණය මුදලට අතිරේකව දරිද්‍රතාවය අවම කිරීම සඳහා වන ජපන් අරමුදල යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1.25ක ප්‍රදානයක් ලබා දීමට ද එකඟ වී ඇත.

මෙම ණය මුදල් හා ප්‍රදානය ලබාගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව සමඟ අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

තව ද, ද්විතියික අධ්‍යාපන ආංශික වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක අයවැය සහන ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිඵල පාදක ණය දීමේ මූල්‍ය ක්‍රමවේදය යටතේ ලබා දීමට ද එකඟතාව පළ කර ඇත.