පොලිස් නිලධාරීන්ට උපාධියක් ලබා දෙන්න යයි

September 24, 2020 at 5:18 PM

පොලිස් නිලධාරීන් සඳහා උපාධිය දක්වා උසස් අධ්‍යාපනය ලබාදීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක ,ස්වදේශ කටයුතු හා ආපදාකළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ මහවැලි අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

කැලණිය විශ්ව විද්‍යාලයේ දී වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා කැලණි විශ්ව විද්‍යාලයේ උකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා විසින් ඊයේ දිනයේදී මේ සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට එළැඹි ඇත. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්තියට අනුව පොලිස් නිලධාරීන්ගේ දැනුම හා ආකල්ප වර්ධනය කිරීම උදෙසා මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

ජාතික පොලිස් අභ්‍යාස ආයතනය හා කැළණි විශ්වවිද්‍යාලය අතර ඉදිරි වසර පහක කාලයක් සඳහා මෙම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙහිදී ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් පවත්වනු ලබන පාඨමාලාවන් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ තත්ව පරීක්ෂණ මාර්ග උපදේශකයන්ට අනුගත වන ලෙස සංවර්ධනය කිරීමට හා මානව සම්පත් දායකත්වය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ කියා සිටියේ.

තවද කැලණි විශ්වවිද්‍යාලය මගින් ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ පර්යේෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සහ පුස්තකාල සංවර්ධනය සඳහා දායකත්වය ලබා දීමට ද නියමිතයි.

පොලිස් නිලධාරීන් සඳහා ලබාදීමට නියමිත උපාධියට අදාල විෂය මාලාවන් මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව වෙත යොමු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. පොලිස් දෙපාර්තමේන්තුවේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධාරීන්ට මෙම උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමිවේ.

මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟද අවබෝධතා ගිවිසුමකට ඉදිරියේදී එළඹීමට නියමිතයි.

පොලිස් නිලධාරීන්ට ගුණාත්මක දැනුම ලබා දීමේදී යහපත් මහජන සේවාවක් ඇති කිරීමට හැකි බව අමාත්‍ය චමල් රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.