LPL : කුසල් ජනිත් මිලදීගන්නා කණ්ඩායමට අනිවාර්යෙන්ම ලැබෙන ක්‍රීඩකයා

September 18, 2020 at 3:33 PM

කුසල් ජානිත් පෙරේරාගේ ආබාධය හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන ක්‍රීඩකයින් සංඛ්‍යාව 5 සිට 6 දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවින් වික්‍රමරත්න තහවුරු කළේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට කඩුලු රකින්නා පිතිකරුවෙකු වන නිරෝෂන් දික්වැල්ල ඇතුළත් කර ඇති බවයි.

“කුසල් ජානිත්ගේ ආබාධය හේතුවෙන් අපි නිරෝෂන් දික්වැල්ල ලැයිස්තුවට ඇතුළත් කළා. එබැවින් කුසල් ජානිත් ලබා ගන්නා කණ්ඩායම නිරෝෂන් දික්වැල්ල ද හිමිකර ගැනීමට හැකියි.

මීට පෙර newswire වෙබ් අඩවිය වාර්තා කළ පරිදි, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, දසුන් ශානක සහ කුසල් ජනිත් පෙරේරා ආරම්භක ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන ක්‍රීඩකයින් 5 දෙනා වනු ඇත.

නොවැම්බර් 14 වනදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය සඳහා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කටයුතු කරමින් සිටී.

මෙම තරඟාවලියට තරඟ 23 ක් ඇතුළත් වන අතර එය ඉන් තරග 03ක් දිවා/ රාත්‍රී තරග ලෙස සුරියවැව, පල්ලකැලේ සහ දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

කොළඹ, ගාල්ල, යාපනය, දඹුල්ල සහ මහනුවර යන නගර පහෙන් කණ්ඩායම් 05ක් නම් කරන අතර සෑම කණ්ඩායමකටම විදේශීය ක්‍රීඩකයින් හය දෙනෙකු ඇතුළත් වේ.