කොළඹ ඉදිවෙන ගොඩනැගිලි වලින් රටටම බලපාන පොදු ගැටළුව ගැන ජනපති කියූ දේ

September 18, 2020 at 7:04 AM

තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටිනවා. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම දක්නා මන්දගාමී ක්‍රියාකාරිත්වය කණගාටුවට කරුණක් බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටින්නේ.

කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් හැම දවසකම එකම මට්ටමක තිබීම නිදසුනක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අරඹා ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළයුතු බවද සඳහන් කර සිටියා.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා කියා සිටියේ ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සුදානම් වන මෙන් සියලු පාර්ශ්වයන්ගෙන් තමන් ඉල්ලා සිටින බවයි.
.
“සෑම පවුලකටම සුව පහසු නිවසක්” හිමිකර දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපේක්ෂාවක්. නිවසක අවශ්‍යතාව තිබුණත් එය තනිව සපුරාගත නොහැකිවීම බහුතරයකට ඇති ගැටළුවක්. නාගරික, ග්‍රාමීය සහ වතු ජනතාවගේ නිවාස හිඟය විසඳිය යුත්තේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ යන අයුරින් බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

“ඔබට ගෙයක්, රටට හෙටක්” සංකල්පය තේමා කර ගනිමින් තම අමාත්‍යාංශය දැනටමත් ග්‍රාම සේවා වසම් මට්ටමෙන් අඩු අදායම්ලාභීන්ට නිවාස 14,022ක් ඉදිකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කර සිටියා. මේ ව්‍යාපෘතිය යටතේ වසර 05ක් අවසන නිවාස 70,100ක් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.

ඔක්තෝබර් 05 වැනි දිනට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව “සපිරි මහල් නිවාස වැඩසටහන” යටතේ වැරැල්ලවත්ත, මිහිඳුපුර, පරංගියාකුඹුර, දහයියාගම, මත්තේගොඩ, සොයිසාපුර සහ තංගල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් නිවාස ඒකක 1500ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ද ඉන්දික අනුරුද්ධ අමාත්‍යවරයා කියා සිටියා.

සියලු ඉදිකිරීම්වලට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයම සහභාගී කරවා ගැනීමේ වැදගත් බවත් නිවාස මිලදී ගැනීමට 6.25% වාර්ෂික පොලී අනුපාතයකට තිස් වසරකින් ගෙවී අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සකස් කොට මධ්‍යම පාන්තිකයන්ගේ ආදායමට ගැළපෙන මහල් නිවාස ඉදිකිරීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය ඉඩම් නොමිලේ සපයන බවද මෙහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

උතුරු පළාතේ සුබසාධන කඳවුරු 22ක වෙසෙන අවතැන් වූ පවුල් 409ක් නිවාස තනා නැවත කඩිනමින් පදිංචි කරවීමට පියවර ගන්නැයි ද මෙහිදී ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබුවා.

රට පුරා පවුල් පන්ලක්ෂ විසි හය දහසකට අධික සංඛ්‍යාවකට වැසිකිළි නැති බව පෙන්වා දුන් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කඩිනම් කරන්නැයි කියා සිටියා.