ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කළ සැකකරුවන් දෙදෙනාව ඇපමත මුදා හැරේ

September 18, 2020 at 1:16 PM

අත්අඩංගුවට ගනු ලැබු ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීමට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයා සහ ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු පුද්ගල ඇපමත මුදා හැරීමට හලාවත දිසාවිනිසුරු මංජුල රත්නායක මහතා අද (18) නියෝග කරනු ලැබුවා.

ආනවිළුන්දාව අභය භූමිය තුළ ඉස්සන් කොටුවක් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එම සැකකරුවන්ට රුපියල් ලක්ෂ 100 බැගින් වන පුද්ගල ඇපමත මුදා හැරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

වනජීවී දෙපාර්තමේන්තු වේ පුත්තලම සහකාර අධ්‍යක්ෂකවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පසුගිය 27 වෙනිදා ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

දිසාවිනිසුරුවරයා විසින් ඇප මත මුදා හරින ලද්දේ, මුන්දලම – කීරියන්කල්ලිය ප්‍රදේශයේ පදිංචි ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරුවෙකු සහ උඩප්පුව, පිංකට්ටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් සියලු සාක්ෂි අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් අනතුරුව සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් වන්නේ නම් ඔවුන්ව ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දිසාවිනිසුරුවරයා ආරච්චිකට්ටුව පොලීසියට නියෝග කර තිබේ.