පරිප්පු, ඖෂධ සහ ජංගම දුරකථන ආනයනය කිරීම ජුලී මාසයේදී ඉහළට : රෙදිපිලි සහ ඉන්ධන ආනයනය පහතට

September 17, 2020 at 1:05 PM

2020 ජූලි මාසයේ දී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව ජංගම දුරකථන ඇතුළු විදුලි සංදේශ මෙවලම් ආනයන වියදම 75.1%කින්, බෙහෙත් හා ඖෂධිය නිෂ්පාදිත ආනයන වියදම 24.9%කින්, සීනි හා රසකැවිලි ආනයන වියදම 206.4%කින්, එළවළු ආනයන වියදම 7.8% කින් හා වෙනත් ආහාර හා පාන වර්ග ආනයන වියදම 50.7% කින් වැඩි වී ඇත.

2020 මාර්තු මාසයේ සිට පැවති ආනයන වියදම පහත වැටීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින් 2020 වසරේ ජූලි මාසයේ දී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1,294ක් දක්වා සියයට 24.6කින් පහත වැටුණි. ආනයන වියදම පහත වැටීම සඳහා රජය විසින් තෝරාගත් භාණ්ඩ ආනයනය සීමා කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග ද හේතු විය.

2020 වසරේ ජූලි මාසයේ දී අන්තර් භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සපේක්ෂව පහත වැටුණු අතර, ඒ සඳහා ඉන්ධන (සියයට 36.3 කින්) සහ රෙදිපිළි උපාංග (සියයට 20.7කින්) ආනයන වියදම පහත වැටීම ප්‍රධාන වශයෙන් හේතු විය. ඉන්ධන ආනයන වියදම පහත වැටීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඛනිජ තෙල් මිල ගණන් පහත වැටීම හේතුවෙන් පිරිපහදු කළ ඛනිජ තෙල් සහ බොර තෙල් ආනයන වියදම අඩුවීම හේතු විය. බොරතෙල් බැරලයක් සඳහා සාමාන්‍ය ආනයන මින පෙර වසරේ අනුරූප මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් 68.73ට සාපේක්ෂව 2020 වසරේ ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් 46.23ක් දක්වා පහත වැටුණි. 2019 වසරේ ජූලි මාසයට සාපේක්ෂව 2020 වසරේ ජූලි මාසයේ දී පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන පරිමාව ද පහත වැටුණු අතර, බොරතෙල් සහ ගල් අඟුරු ආනයන පරිමාව ඉහළ ගියේය. මේ අතර, ප්‍රධාන වශයෙන් රෙදි වර්ග සහ නූලි වර්ග ආනයනය පහත වැටීහ හේතුවෙන් රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයන වියදම පහත වැටුණි. තවද, 2019 වසරේ ජූලි මාසයට සාපේක්ෂව 2020 වසරේ ජූලි මාසයේ දී අන්තර් භාණ්ඩ යටතේ වර්ග කර ඇති අනෙකුත් සියලුම උප කාණ්ඩවල ආනයන වියදම ද පහත වැටුණි.

2020 වසරේ ජූලි මාසයේ දී ආයෝජන භාණ්ඩ ආනයන වියදම එහි උප කාණ්ඩ සියල්ලෙහිම අඩු වීමත් සමඟ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අඩු වී අතර, ආනයන වියදම් අඩු කිරීම සඳහා රජය විසින් පනවනු ලැබූ සීමා කිරීම් ඒ සඳහා හේතු විය. මේ අනුව 2019 වසරේ ජූලි මාසයට සාපේක්ෂව 2020 වසරේ ජූලි මාසයේ දී යන්ත්‍රසූත්‍ර හා උපකරණ (ප්‍රධාන වශයෙන් ඉංජිනේරු උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, විදුලි සංදේශ මෙවලම් සහ යන්ත්‍ර සූත්‍ර හා උපකරණ කොටස්), ගොඩනැගිලි ද්‍රව්‍ය (ප්‍රධාන වශයෙන් යකඩ හා වානේ සහ ඒ ආශ්‍රිත උපාංග, ප්ලාස්ටික්, රබර් හා වීදුරු භාණ්ඩ සහ සිමෙන්ති) සහ ප්‍රවාහන උපකරණ (ප්‍රධනා වශයෙන් ටැංකි, බවුසර හා ත්‍රී රෝද රථ වැනි වාණිජ අරමුණු සඳහා යොදා ගනු ලබන රථ වාහන) ආනයන වියදම් පහත වැටුණි.

ආහාර හා පාන වර්ග ආනයන වියදම ඉහළ ගිය ද, ප්‍රධාන වශයෙන් ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පහත වැටීම හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පහත වැටුණි. ආනයන සීමා කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස, විදුලිසංදේශ මෙවලම් (ප්‍රධාන වශයෙන් ජංගම දුරකථන) සහ බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදිත හැර අනෙකුත් සියලුම උප කාණ්ඩවල ආනයනය වියදම පහත වැටීමත් සමඟ ආහාර නොවන පාරිභෝගිත භාණ්ඩ ආනයනය පහත වැටුණි. 2009 වසරේ දෙසැම්බර් මාසයට පසුව අඩුම මාසික රථවාහන ආනයන වියදම වාර්තා කරමින් 2020 වසරේ ජූලි මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයන වියදම සියයට 93.6කින් සැලකිය යුතු ලෙස පහත වැටුණි. මේ අතර, 2020 වසරේ ජූලි මාසයේ දී ආහාර හා පාන වර්ග ආනයන වියදම ඉහළ ගිය අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් සීනි, මේද වර්ග හා තෙල් වර්ග (ප්‍රධාන වශයෙන් පොල් තෙල්) සහ එළවළු (ප්‍රධන වශයෙන් පරිප්පු) ආනයන ඉහළ යෑම හේතු විය.

2020 වසරේ ජූලි මාසයේ දී ආනයන පරිමා දර්ශකය සහ ආනයන මිල දර්ශකය යන දර්ශක දෙකම පිළිවෙලින් සියයට 16.1කින් සහ සියයට 10.1කින් පහත වැටුණි. මෙමගින් 2019 වසරේ ජූලි මාසයට සාපේක්ෂව 2020 වසරේ ජූලි මාසයේ දී ආනයන වියදම පහත වැටීම සඳහා ආනයන පරිමාව සහ ආනයන මිල ගණන් යන සාධක දෙකම හේතු වූ බව පිළිබිඹු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2020 ජූලි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.