අද සවස 6ට තැඹිලි පැහැ ගැන්වෙන නෙළුම් කුළුණ

September 17, 2020 at 5:50 PM

කොළඹ නෙළුම් කුළුණ අද සවස 06.00 සිට තැඹිලි පැහැයෙන් ආලෝකමත් කෙරෙන අතර රෝගීන් සුරක්ෂිතතා දිනය සංකේතවත් කිරීම සඳහා අද දින සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රය ඇතුළු දිවයිනේ සියලුම රෝහල් තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමටද කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

සෑම වසරකම සැප්තැම්බර් මස 17 දින රෝගී සුරක්ෂිතතාව පිළිබද  අන්තර්ජාතික දිනය ලෙස සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේදී තීරණය කරන ලදී. ඒ අනුව රෝගීන්ගේ සුරක්ෂිතතාවය ගෝලීය වශයෙන් ප්‍රමුඛතාවක් ලෙස සලකමින් 2020 මෙම වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 ක් එම දිනය අද සමරනු ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රෝගීන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ගෝලීය සහයෝගීතාවය සහ සියලු රටවල් සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සාමූහික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෝක රෝගී සුරක්ෂිතතා දිනය වෙනුවෙන් සියලු පාර්ශව වලින් ඉල්ලීමක් කර ඇත. දැනට ගෝලීයව බලපා ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර රෝගීන් සුරක්ෂිතතා දින තේමාව ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුරක්ෂිතතාව ප්‍රමුඛ කාර්යයක් යන්න ප්‍රකාශ කර ඇත.