තේරී පත් ව ගැසට් කළ මන්ත්‍රී 223 දෙනාට පාර්ලිමේන්තු මහලේකම් ගෙන් ලිපියක්.

August 16, 2020 at 3:15 PM

ලබන 20 වැනිදා පෙරවරු 9.30ට ඇරඹෙන නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරයන්ට දැනුම්දී තිබේ.

මහලේකම්වරයා මෙම දැනුම්දීම සිදු කරනු ලැබූයේ නවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරයන් වෙත යවන ලද ලිපියක් මගිනි.

දැනට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ගැසට් කර ඇති මන්ත්‍රීවරු 223 දෙනාටම මෙම ලිපිය යවා තිබේ.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 1ට අනුකූලව කාථානායකවරයෙකු, නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කර ගැනීමත් සියලුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම් දීම එදිනට සිදු කිරීමට නියමිත බවත් මහලේකම්වරයාගේ ලිපියේ සඳහන් වේ.

ඊට අනුකූලව සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි යන කවර හෝ එක් භාෂාවකින් දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දීමට අපේක්ෂිත අතර භාෂාත්‍රයෙන්ම පිළියෙල කරන ලද ඊට අදාල ලේඛණ සභා මේසය මත තැබීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා සඳහන් කර සිටී.

නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීමට අදාල වැඩපිළිවෙළ සහ විස්තර සටහන ඉදිරියේදී පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් කරන බවද මහලේකම්වරයාගේ ලිපියේ තවදුරටත් දැක්වේ.