කොරෝනාවෙන් තවත් කොන් වූ අහිකුණ්ඨික ජීවිත

කෝවිඩ් 19 වසංගතය ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාව තුළ මිලියනයකට අධික දෛනික ශ්‍රමිකයන් පත් වූවේ දැඩි අපහසුතාවයකටයි.ඒ ඔවුනගේ අවිධිමත් ආර්ථික කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතවීම නිසයි.

මේ අතරින් දිවයිනේ වෙසෙන අහිකුණ්ඨික ජන ප්‍රජාවට ඇති වූ බලපෑම අති මහත් වූවක්.ඒ ඔවුනගේ තැනින් තැනට යමින් සිදුකරන සාස්තර කීම, නයි නැටවීම වැනි සම්ප්‍රදායික රැකියාවන් කරගෙන යාමට මෙම නව තත්වය ඉඩක් නොතැබීමයි.

ඔවුනගේ දකුණු ඉන්දියානු සම්භවය හේතුවෙන් මෙම අහිකුණ්ඨක ජන ප්‍රජාව තෙළිඟු ජන ප්‍රජාව ලෙසද හඳුන්වනු ලබයි.කොරොනා තත්වය නිසා පැන වූ ඇදිරි නීතිය සම්යේ දී මෙන්ම ඉන් පසුව ද තම එදිනෙදා ආහාර වේල සපයා ගැනීමට මෙම තෙළිඟු ජන ප්‍රජාවට නිරත වීමට සිදු වූවේ දැඩි අරගලයකයි.

පසුගිය ජූනි මාසයේ දී චිත්‍රපට අධ්‍යක්ෂිකා සුලෝචනා වීරසිංහට මෙසේ අනුරාධපුර කලා බළලු වැව ඉස්මත්තේ තාවකාලිකව දිවිගෙවන 15 දෙනෙකු පමණ වන තෙළිඟු ප්‍රජාවේ පවුල් කිහිපයක් හමුවීමට හැකිවිය.ඔවුන් එම ස්ථානයේ ජීවත් වීම අරඹා තිබුණේ පසුගිය ජනවාරි මාසයේ සිටයි.

ඇය විසින් නිර්මාණය කරන ලද කෙටි වාර්තා වැඩසටහනට අනුව මෙම තෙළිඟු ජන ප්‍රජාවට පසුගිය මාර්තු මාසයේ සිට දිවයින පුරා බල පැවැත්වුණ කොරෝනා ඇදිරි නීතිය හේතුවෙන් තම සරල සංක්‍රමණික ජීවිකාවෙන් බැහැරව එකම තැනක ජීවත් ජීවත් වීම දැඩි දුෂ්කරතාවයන් රැසක් උද්ගත කර ඇත.

එම් තියාඟු තවත් තෙළිඟු ප්‍රජාවේ සාමාජිකයෙක්.ඔහු කොරෝනා සමයට පෙර සිටම තම ජීවිකාව සිදුකරමින් තම පවුලේ අය සමඟ කලා බළලු වැව ඉස්මත්තේ කල් ගෙවූ අයෙක්.එහෙත් කොරෝනා පාලන නව ක්‍රම වේද සමඟ තියාඟු හා ඔහුගේ ප්‍රජාවට දැඩි බාධක රැසකට මුහුණ දීමට සිදු විය.තියාඟු පවසන පරිදි”කොරෝනා නිසා අපිට අපේ රැකියාවල් කරගෙන යන්න විදියක් තිබ්බේ නෑ.අපිට එදා වේල කන්න නැතුව ඉන්න වුණේ.අපිට උදව් කරන්න කවුරුත් හිටියෙ නෑ”

ජේ. එෆ් රිස්කානා තෙළිඟු ප්‍රජාවේ සිටින තරුණ මවක්.ඇය දරුවන් දෙදෙනෙකු රැක බලා ගැනීමට දරන්නේ ඉමහත් වෙහෙසක්.ඇය පවසන පරිදි”මට නම් වතුර හරි බීල ජීවත් වෙන්න පුළුවන්.පොඩි දරුවට කිරි දෙන්න ඕනෙ.අවුරුදු තුනේ පුතා අඬනව බඩගින්නෙ.ඇදිරි නීතිය නිසා අපිට කොහෙවත් යන්න බෑ.අපිට තිබුණ එකම විසදුම වැවට ගිහින් මාළු අල්ලල ලුණු දාල කන එක”.

මෙම දුෂ්කර වෙලාවේ තෙළිඟු ප්‍රජාවට උදව් කිරීමට ඉදිරිපත් වුණ එකම කෙනා වුවේ බළලු වැව පලාගල ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැල් හිමියෙකු වන එස් එම් හනීෆා පමණි.ඔහු පවසන පරිදි “අපි හැමෝටම එන බඩගින්න තමයි මේ මිනිස්සුන්ටත් දැනෙන්නේ කියන චේතනාවෙන් තමයි මම ඔවුනට උදව් කරන්න ඉදිරිපත් වුණේ.මම එයාලව කළින් අඳුනන්නෙ නැති නිසා හැඳුනුම්පත තියාගෙන තමයි ඕනකරන බඩු දුන්නේ”.

වර්තමානයේ දී කොරෝනා ඇඳිරි නීති තත්වය අවසන්ව තිබුණ ද තමන් ණයට ලබාගත් සිල්ලර බඩුවල ණය පියවීම තෙළිඟු ප්‍රජාව මුහුණ දෙන ප්‍රධානම අර්බුදයයි.ඔවුන් රජයෙන් ලබාදෙන රුපියල් 5000 සහන දීමනාව ලැබීමට සුදුසුම පිරිසක් වුවද, මෙහි පැමිණි රජයේ නිළධාරීන් පවසා ඇත්තේ ස්ථිර පදිංචිය තහවුරු කිරීමේ කිසිදු නිල ලියැවිල්ලක් නොමැති නිසා එම සහනය ලබා දිය නොහැකි බවයි.

අනපේක්ෂිත කොරෝනා වෛරස තත්වය ව්‍යාප්ත නොවන්නට මෙම ප්‍රජාවට තම සරල ජීවිකාවන් තුළින් දිවි පෙවෙත පවත්වා ගැනීමට හැකිව තිබූ පිරිසකි.

තියාඟු පවසන පරිදි “අපි මෙහෙ ජීවත් වෙන්න පටන් ගත්තෙ ජනවාරි මාසයෙ ඉඳල.බිස්නස් කරගෙන හිටියෙ.සාමන්‍යයෙන් හඳුන්කූරු බිස්නස්,කතුරු පිහි මුවහත් තියෙන එක,මිරිස් ගල් කෙටීම,හිරමණ කීරි ගෑම වගේම පින්තූර කී ටැග් විකිණීම,කලගෙඩි සාස්පාන් හදන එක කරනව.ඒ ආදායම් මදි අය දිනපතා කුලී වැඩත් කරනව “.

තෙළිඟු ප්‍රජාව තම සුළු ජීවන උපායන්ගේ අදායම් තත්වය වඩා හොඳනම් එකම ස්ථානයක සති කිහිපයක් එක දිගට ජීවත්වීමට ඇළුම් කරයි.එසේ නොමැතිනම් තැනින් තැනට යමින් තවත් තාවකාලික ස්ථානයක් සොයාගැනීම ඔවුනගේ සාමන්‍ය ජීවන රටාවයි.ශ්‍රී ලංකාව පුරා 18000 කට අධික තෙළිඟු ජන පිරිසක් මෙලෙස රජයේ කිසිඳු සහනයක් නොලබා දිවිගෙවයි.

වේලමානික්කම් සුරේෂ් මෙම තෙළිඟු ප්‍රජාවේ තවත් සාමාජිකයෙක්.ඔහු පවසන පරිදි”ලඟදි ග්‍රාම සේවක එක්ක ආපු නිලධාරීන් කිහිප දෙනෙක් අපිට මේ ස්ථානයෙන් යන්න කියල කිව්ව.අපි ගොඩක් දුප්පත් මිනිස්සු මේ ඇතිවෙල තියෙන තත්ත්වයත් එක්ක ගෙවන්නෙ හරිම අමාරු කාලයක්.එහෙම තියෙද්දිත් ඇයි මෙහෙම අපිට යන්න කියන්නෙ?අපි කොහෙටද යන්නෙ? සුරේෂ් තරයේ ප්‍රශ්ණ කරයි.