පැය 06ක ප්‍රකාශයක් ලබාදී අරවින්ද පිටව යයි : උපුල් තරංගටත් කැඳවීමක්

June 30, 2020 at 9:31 PM

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මිට සුළු මොහොතකට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පිටව ගියා.

ඒ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැය 06 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුවයි.

ප්‍රකාශ ලබාදීමට අරවින්ද ද සිල්වා අද පස්වරු 2.00 ට පමණ විමර්ශන ඒකකය වෙත පැමිණියා.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූ‍ත්ගමගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.

ඒ සම්බන්ධයෙන් එවක තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වාගෙන් මෙලෙස ප්‍රකාශ ලබා දෙනු ලැබුවා.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ඉකුත් දා ප්‍රකාශ කර තිබුණේ සිය අනුමැතියකින් තොරව 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා ක්‍රීඩකයින් සිව්දෙනෙකු කැඳවූ බවටයි.

මේ අතර මෙම විමර්ශනයට අදාලව ප්‍රකාශ ලබා ගැනීම සඳහා හෙට පෙරවරු 10ට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා.