තරග පාවාදීමේ චෝදනාව ගැන හිටපු ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රකාශයක් ගන්න ICCය සැරසේ

June 22, 2020 at 1:39 PM

2011 ලෝක කුසලාන අවසන් මහ ක්‍රිකට් තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සුදානම් වනවා.

” විමර්ෂණය කිරිමට තරම් සුදුසු කරුණු තිබේද යන්න සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා හිටපු ක්‍රීඩා ඇමතිවරයා සමග සාකච්ජා කිරිමට අපි බලාපොරොත්තු වනවා” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියෙකු newswire.lk වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර සිටියා.

2011 ලෝක කුසලාන අවසන් තරගයේ පාවාදීමක් සිදුවූ බවට තමන් ප්‍රකාශ කර සිටියත් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩකයින් ගේ සම්බන්ධයක්‌ ඇති බවට තමන් කිසිදු විටක ප්‍රකාශ නොකළ බව හිටපු ක්‍රීඩා ඇමතිවරයා කියා සිටියා.

ඔහු කියා සිටියේ තරගය පාවා දීම ගැන තමන් කියා සිටියේ එම අවස්ථාවේ සිටි නිලධාරින් සම්බන්ධයෙන් බවයි.

ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුකළ වෙනස්කම් සංඛ්‍යාව 04ක්, ඒ පිළිබඳව බොහෝ ප්‍රශ්නකාරි තත්ත්වයක් මතුව තිබෙනවා යැයි හිටපු ක්‍රීඩා ඇමතිවරයා ඉකුත් සතියේදී කියා සිටියා.

මේ අතර හිටපු ක්‍රීඩා ඇමතිවරයා සිදුකළ ප්‍රකාශය ක්‍රමවත් ලෙස සනාථ කර ගැනීමට නොහැකි වුවහොත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට නීති විශාරදයින් සුදානම් වනවා.

ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ පනත යටතේ ඇති 13 වගන්තියට අනුව සිදුකරන චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකි වුවහොත් එම චෝදනාව සිදුකළ පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට හැකියාව ඇත.

එම චෝදනාවට අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්ෂයක දඩයක්, වසර තුනක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කිරිමේ හැකියාව ඇත.