2011 ලෝක කුසලානය ඉන්දියාව ජය ගත් අවස්ථාවේ ඔබ සිනහ වුනේ ඇයි ? අශ්වින් සංගක්කාර ගෙන් අසයි (VIDEO)

June 21, 2020 at 10:39 AM

2011 ලෝක කුසලාන අවසන් මහ තරගය සම්බන්ධයෙන් ක්‍රිකට් කේෂ්ත්‍රයේ මෙන්ම ලොවපුරා ක්‍රිකට් රසිකයින් අතර යලිත් කතා බහක් ඇතිවුයේ පසුගිය දින කිහිපයක සිටදීය. ඒ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන්ය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති අවසන් මහ ක්‍රිකට් තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මෙම අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ කුමාර් සංගක්කාරයි. 2011 අවසන් මහ තරගයේදී ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි සහ යුවරාජ් සිං සිය කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණය සමරමින් සිටියදී කුමාර් සංගක්කාර සිනහමුසු මුහුණින් ඔවුන් දෙස බලා සිටින අයුරු රූපවාහිනි තිරයේ දිස්වුවා.

ඉන්දීය දඟ පන්දු ක්‍රීඩක රවිචන්ද්‍ර අශ්වින් මිට සති කිහිපයකට ඉහතදී පැවති සම්මුඛ සාකච්ජාවකදී සංගක්කාර ගෙන් ඒ ගැන විමසා සිටියා. අශ්වින් නැගු එම ප්‍රශ්නයට සංගක්කාර ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්.

“මම හිතන්නේ මගේ ජිවිතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වන විට අපේ ජිවිත කණස්සල්ල්ට පත්වන බොහෝ දේ තිබුණා. අවුරුදු 30 ක් අප යුද්ධයකට මුහුණ දුන්නා. 2005 වර්ෂයේදී අපට ස්වාභාවික විපත් ඇතිවුණා. අපට විවිධ ගැටළු රාශියකට මුහුණ දෙන්න සිදුවුනා. නමුත් ශ්‍රී ලාංකිකයින් වන අප සතු ශ්‍රේෂ්ඨතම අපට එන ඕනෑම දෙයකට ඔරොත්තු දීමේ හැකියාවයි. එය අප තුළ පිහිටා තිබෙන්නේ සහජයෙන්මයි. අපි ක්‍රීඩා කරන විට, අපට ජයග්‍රහණය කිරීමට අවශ්‍යයි, අපි අතිශයින්ම තරඟකාරීයි.”

“අපි ජයග්‍රහණය කළත් පරාජය වූවත් ජයග්‍රහණයක් හෝ පරාජයක් ගන්නේ කෙසේද යන්න ගැන අප තුළම සමතුලිතතාවය තිබෙනවා. 1996 සිට මෙතරම් කාලයක් තිස්සේ බලා සිටි ශ්‍රී ලංකාවේ මිලියන 20 ක ජනතාවගේ බලාපොරොත්තු සුන්වුන එකේ දුක තමයි ඒ සිනහවෙන් යටපත් කරගෙන හිටියේ.”

“අපට 2007 දී වගේම 2011 දී අවස්ථාවක් ලැබුණා. විස්සයි 20 ලෝක කුසලාන තරග වලදී 2009 සහ 2012 දී අවස්ථාව ලැබුණා.”

“ජීවිතයේදී ජයග්‍රහණය මෙන්ම පරාජය වීම් වලට මුහුණ දෙන්න වෙනවා. යම් අවස්ථාවලදී එකම දෙයක් ඔබේ හිතසුව පිණිස සිදු නොවුනත් වැදගත්ම දේ ඔබේ ජිවිතයට එය ලැබෙන ආකාරයට අනුගත වීමයි.”

“ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධයත් අපට ගැටලුවක් වුනා කණ්ඩායමේ සංයුතිය පවත්වාගෙන යන්න. යම් හෙයකින් ඔහු ආබාධයකට ලක්වී සිටියේ නැත්නම් අපි අවසන් මහ තරගයේදී ලකුණු හඹා යාමට තිබුණා. අවසන් පිතිකරුවන් කිහිප දෙනා සමග ඔහුට හොඳ හැකියාවක් තියෙනවා අවසානය දක්වා ක්‍රීඩා කරන්න” මැතිව්ස් ගේ ආබාධය ලෝක කුසලාන අවසන් තරගයට කෙසේ බලපෑවේද යන්න සම්බන්ධයෙන් අශ්වින් නැගු පැණයට පිළිතුරු දෙමින් සංගක්කාර කියා සිටියා.