මහේල තිලංග ගෙන් සමාව අයදී : සියල්ල ගැන අත්දැකීම් ඇති ඔබෙන් උපදෙස් පතන්නම් යැයි කියයි

June 21, 2020 at 12:24 PM

ලෝක කුසලාන තරග පාවාදීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශයට ක්‍රීඩකයින් අනවශ්‍ය ලෙස කලබල වීමට අවශ්‍ය නොවන බව හිටපු මන්ත්‍රී තිලංග සුමතිපාල ප්‍රකාශ කර සිටියා.

ඔහු ඒ බව කියා සිටියේ පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින්.

” තරග පාවා දීමේ සිද්ධියට සම්බන්ධ නැත්නම් ඇයි මේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් කලබල වෙලා ට්විටර් සටහන් තබන්නේ. ඇයි ඔවුන් මේ තොප්පිය දාගන්න හදන්නේ” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා විමසා සිටියා.

තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රිවරයා ගේ එම ප්‍රකාශයට මහේල ජයවර්ධන අද පිළිතුරු ලබාදී තිබුණා. ඒ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින්.

” මට කණගාටුයි. ඊළඟ වතාවේ තොප්පිය පැළදීමට පෙර සහ ප්‍රතිචාර දැක්වීමට පෙර ඔහු ගෙන් විමසා බැලීමට අප කටයුතු කරන්නම්. මන්ද ඔහුට ඒ විෂය පිළිබඳ විශාල අත්දැකීම් ඇති නිසා” යනුවෙන් මහේල ජයවර්ධන සිය ට්විටර් සටහනේ දක්වා තිබුණා.