2011 ලෝක කුසලාන අවසන් තරගයට අදාළ ප්‍රකාශය ගැන විමර්ෂණයක් අරඹයි

June 19, 2020 at 2:06 PM

2011 වසරේ පැවති ලෝක කුසලාන අවසන් ක්‍රිකට් මහ තරගය මුදලට හෝ වෙනත් කරුණක් හේතුවෙන් පාවා දුන්නා ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹීමට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් පුද්ගලික මාධ්‍ය ආයතනයක් සමග පැවති වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම විමර්ශනය අරඹන ලෙසයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ.

එම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සති දෙකකට වරක් තමන්ට කරුණු වාර්තා කරන ලෙසද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂද ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබුණා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපයට හානිවන සිදුවීමක් බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බව කියා සිටියා.