එදා මට මුරලි පවා හිනාවුණා : උඩ පන්දුව අල්ලන්න යද්දී කකුල් දෙක පැටලිලා වැටුණා – ක්‍රිකට් දිවියේ අවාසනාවන්තම දවස ගැන මහේල මතකය අවදි කරයි (VIDEO)

June 9, 2020 at 12:11 AM

මෙරටින් බිහිවූ විශිෂ්ඨ ක්‍රිකට් නායකයෙක් වන මහේල ජයවර්ධන සිය ක්‍රිකට් දිවියේ අමතක නොවන දිනයක් සම්බන්ධයෙන් නිව්ස්වයර් වෙබ් අඩවිය සමග සිය අත්දැකීම් බෙදා ගනු ලැබුවා.

වසර ගණනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ඇති මහේල ජයවර්ධන සිය ක්‍රීඩා දිවියේදී මුහුණ දුන් අවාසනාවන්තම දිනය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වුයේ මේ අයුරින්.

” 2003 වර්ෂයේදී නවසීලන්ත කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගයේදී ස්ටීවන් ෆ්ලෙමින් ද්විත්ව ශතකයක් වාර්තා කළා. නමුත් එදා ඔහු දුන් උඩපන්දු රැසක් ගිලිහුණා. ඇත්තටම එය අවසානාවන්ත දවසක්.

එදින මට මතකයි මගේ අතින් උඩපන්දු 4 ක් ගිලිහුණා. එදා ෆ්ලෙමිංගේ උඩ පන්දු 6 ක් අපට ගිලිහි ගියා. මගේ අතින් ගිලිහුණු පන්දු වලින් 3 ක්ම පහසු ඒවා. මට මතකයි කඩුලු රකින කුමාර් සංගක්කා මට වුන දේ දිහා දැකලා සිනහවෙමින් සිටිනා. මගේ ක්‍රිකට් දිවියේ අවාසනාවන්තම දවස් වුනේ එදා. එදා සිදුවූ දේ ගැන ස්ටීවන් ෆ්ලෙමිං තවමත් මතක් කරනවා. ඔහු එදා ද්විත්ව ශතකයක් වාර්තා කළා වගේම මම ඔහු දුන්න පහසු උඩපන්දුවක් මග හැරියා. සාමාන්‍යයෙන් උඩපන්දුවක් ගිලිහුනාම මුරලි සිනහවෙන්නේ නැහැ. නමුත් එදා මුරලි පවා සිනාසුණා, මහේල කියා සිටියා.

එක් අවස්ථාවකදී ෆ්ලෙමිං ස්වීප් පහරක් එල්ල කළා. මගේ ඔලුව උඩින් පන්දුව යද්දී ඒ උඩ පන්දුව අල්ල ගන්න මම දුවන්න සැරසුණා විතරයි කකුල් දෙක පැටලිලා වැටුණේ පන්දුව මගේ ඔලුව උඩට වැටිලා. මට හිතා ගන්න බැහැ මොකද වුනේ කියලා.

“ එදා විවේකාගාරයට ගිහින් කණ්නාඩිය ඉදිරිපිටට වෙලා එදා සිදුවූ දේ ගැන කල්පනා කළා. මම එදා තරගයට මගේ මුළු අවධානයම යොමු කලේ නැති නිසා එවැනි දෙයක් වුණා කියලා මම සිතනවා. නමුත් ඒ ගැන හිතලා අදට වඩා හොඳින් ඊලඟ දිනයේදී ක්‍රීඩා කිරීමට උත්සහ කිරීමයි සුදුසුම දේ” ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වන මහේල ජයවර්ධන ක්‍රියා සිටියා.