ෂෙහාන් මධුශංක ගැන ලසිත් මාලිංග ගේ සැලැස්ම

May 31, 2020 at 9:52 PM

දක්ෂ පන්දු යවන්නෙක් වන ෂෙහාන් මධුශංක හට එවැනි ප්‍රශ්නයක් ඇතිවුයේ කුමන කරුණක් හේතුවෙන්ද යන්න සම්බන්ධයෙන් සොයා බලා ඔහුව රැක ගැනීම අනාගතයට ඉතා වැදගත් බව ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටිනවා.

හොරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වේග පන්දු ක්‍රීඩක ෂෙහාන් මධුශංක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග NewsWire වෙබ් අඩවිය වෙත මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර සිටියා.

” ෂෙහාන් මධුශංක කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. මංගල තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවාගන්න මටවත් බැරි උනා. නමුත් කව්රුවත් නොහිතපු දෙයක් තමයි ඔහුට මේ වෙලා තියෙන්නේ.

ෂෙහාන්ට මෙහෙම ඉරණමක් අත්වුනේ ඇයි කියලා අපි හොයලා බලන එක වැදගත්.

ඔහු වරදිකරුවෙක්ද එසේත් නැත්නම් නිවරදිකරුවෙක්ද කියලා නීතිය විසඳාවී. ඉතින් නීතිය එය විසඳූවාට පස්සේ අපි බලන්න ඕන මේ ක්‍රීඩකයාට මෙහෙම වෙන්න සමාජයෙන් එල්ල වුනු බලපෑම මොකක්ද කියලා.

මෙතනදී ෂෙහාන් ගේ දෙමව්පියන් වගේම ඔහුගේ යාලුවොත් උදව් කරන්න අවශ්‍යයි.

ෂෙහාන්ව අඩුම තරමින් අවුරුදු තුනක් යනකම් කෙත්තාරාම ක්‍රීඩාංගනයේ තියෙන නේවාසිකාගාරයේ නවත්වලා ඔහුගේ පිටස්තර ඇසුරෙන් වෙන් කිරිම වැදගත්.

හැම ක්‍රීඩකයෙක්ටම නරක කාලයක් එනවා. වරදින්න පුළුවන්. නමුත් අපි ක්‍රීඩකයින්ට ගොඩ එන්න උදව් කරන්න ඕන” ලසිත් මාලිංග කියා සිටියා.

ෂෙහාන් මධුශංක වැනි වේග පන්දු යවන්නෙකු සම්බන්ධයෙන් මාලිංග ගේ සිතේ ඇත්තේ කුමනාකාරයේ සැලසුමක්ද යන්න සම්බන්ධයෙන් Newswire.lk අප විමසා සිටියා.

” වැදගත්ම දේ ඔහුට වේගයෙන් පන්දු යවන්න හොද හැකියාවක් තියෙනවා. අපිට දැනට එහෙම ක්‍රීඩකයෙක්ට කියලා ඉන්නේ ලහිරු කුමාර විතරයි.

ලෝක කුසලාන තරගාවලිය 2022 වෙනකම් කල් ගියොත් අපිට ඒ වගේ රටකදී වේගයෙන් පන්දු යවන්න පුලුවන් ක්‍රීඩකයෙක් ඉතා වටිනවා. ඒ වගේම ඔහු හොද පන්දු රකින්නෙක් වගේම වේගයෙන් ලකුණු ගන්න පුළුවන් අග පෙළ පිතිකරුවෙක්.

මම මේ ප්‍රශ්නයේදී බලන්නේ මේ කෝණයෙන්. ඒ ගැන සමහරවිට විවේචන තියෙන්න පුළුවන්. නමුත් මගේ මතයේ වෙනසක් නැහැ” ලසිත් මාලිංග කියා සිටියා.