‘කෙත්තාරාමය හදද්දී ප්‍රේමදාස මහතාටත් ප්‍රශ්න ආවා. ඒත් අද…! ක්‍රීඩාංගණය ඉදිකිරීම ගැන ක්‍රිකට් සභාපතිගෙන් පිළිතුරු

May 27, 2020 at 12:03 AM

අද වන විට මෙරට තිබෙන ප්‍රධාන ක්‍රීඩාංගණ සියල්ලම පහේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමේදී බොහෝ විවේචන මෙන්ම ගැටළු පැන නැඟීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් එසේ ඉදිකොට ඇති සියළුම ක්‍රීඩාංගණ මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට දායාදයන් බවට පත්වී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියි.

හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධව බොහෝ දෙනා විවේචන පළ කර සිටි අතර ඒ පිළිබඳව තමන් දරන්නේ කුමන මතයක්ද යන්න මාධ්‍ය විසින් සිදුකරන ලද විමසීමේදී ක්‍රිකට් සභාපතිවරයා ඉහත කරුණු ගෙන හැර පෑවේය.

“ඇත්තටම බැලුවොත් ප්‍රේමදාස මයහ්මයා කෙත්තාරාමයේ ඉදිකිරීමට පටන් ගන්නකොට මේ වගේම ප්‍රශ්න තිබුණා. තිලංග සුමතිපාල මහතා දඹුල්ල ක්‍රීඩාංගණය පටන්ගන්නකොටත් ඔය වගේම ප්‍රශ්න ආවා. ඒ වගේ ඊටත් වැඩිය සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකරද්දී ගැටළු තිබ්බා. නමුත් ඇත්තටම ඒවා දිහා බැලුවහම ඒවා අපිට දැන් දායාද” යනුවෙන් සඳහන් කර සිටියේය.

මෙරට ඇති දැවැන්තම ක්‍රීඩාංගණය ලෙසින් ඉදිකිරීමට නියමිතව තිබුණු මෙම ව්‍යාපෘතිය සම්බන්ධව ඇතිවූ ව්‍යාකූල තත්ත්වය කෙතරම්ද කිවහොත් ඒ සම්බන්ධව ක්‍රිකට් බලධාරීන් ඇතුළු ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් අරලියගහ මන්දිරයට කැඳවමින් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිදුවිය.

එම සාකච්ඡාවේදී දැවැන්ත ව්‍යාපෘතිය අත්හිටුවීමට පියවර ගනු ලැබුවද ක්‍රීඩාංගණය සැකසීම සඳහා වූ යෝජිත භූමි භාගය නීත්‍යානුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පවරා දීම පිළිබඳව වූ කටයුතු සිදුකරන මෙන් අග්‍රාමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට උපදෙස් ලබා දුන්නේය.

“අපිට තවම මේ ඉඩම හම්බ වෙලා නෑ. මේක ආණ්ඩුවට අයිති ඉඩමක්. අපි අවධානය යොමු කරලා තියෙන්නේ ඒ පිළිබඳව. ඒ කටයුතු ඉවර වෙන්න තව මාස 9 ක් හෝ 10 ක් යයි. ඇත්තටම ඒක ඉස්සරහට තියෙන ව්‍යාපෘතියක්. ඊට පස්සේ තමයි අපි ඒ පිළිබඳව තීරණයක් ගනුලබන්නේ” යි ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියේය.

“එදා තිබුණ සාකච්ඡාවෙදි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාටත් කිව්වේ මේ භූමිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පවරල දෙන්න කියලා. ඒ අනුව එය සාමාන්‍ය ක්‍රීඩාංගණයක් විදියට හදාගෙන යන්නත් කියලා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව අපේ මූල්‍ය තත්ත්වය පිළිබඳවත් අධ්‍යයන වාර්තාවක් ලබාගෙන කරන්න පුලුවන් මොකද්ද කියන එක අපි ඉදිරියේදී තීරණය කරනවා” යැයි ක්‍රීඩාංගණය පිළිබඳව මතුවී තිබෙන ගැටළු සම්බන්ධව වැඩිදුරටත් කරුණු අනාවරණය කර සිටියේය.

පොලොන්නරුව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 900 ක් පමණ වියදම් කළේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා එල්ල වන්නේද යන්න මාධ්‍යවේදියක් ප්‍රශ්න කර සිටි අතර, “ඇත්තටම ඔය කියන ක්‍රීඩාංගණයට මිලියන 900 ක් වියදම් වෙලා තියෙනවා කියන කතාව වැරදියි. මිලියන 900 ක් කියන්නේ ලක්ෂ නමදාහක්. ඇත්තටම ඒ ක්‍රීඩාංගණය ඉදිකරන්න අපිට ගියේ මිලියන 100 ක් වගේ ප්‍රමාණයක්”යි ක්‍රිකට් සභාපතිවරයා ඊට පිළිතුරු ලෙස ලබා දුන්නේය.

කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලක්ෂ 150 ක් වටිනා පී. සී. ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත අද (26 දා) පිරිනැමුණු අතර ඒ පිළිබඳ වූ චාම් උත්සවයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ උක්ත අදහස් පළ කර සිටියේය.

මේ අතර ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව සිදුකෙරෙන්නේ කුමන ආකාරයෙන් ද යන්න මෙහිදී ක්‍රිකට් සභාපතිවරයාගෙන් ප්‍රශ්න කරන ලදුව, “අපිට මේ අවුරුද්දට තියෙන කැලැන්ඩර් එකේ විදියට අපි සියළු කටයුතු සිදුකරගෙන යනවා. ඊළඟට අපිට තියෙන්නේ ඉන්දියාවත් එක්ක තරගාවලිය. ඔවුන් ඒ තරගාවලියට එන්නේ නෑ කියලා කියලා නෑ. ඒ වගේම වෙනත් රටවල් වල තරගාවලි මෙහේ පැවැත්වීම කෙරෙහි ඉල්ලීම් කීපයක්ම ඉදිරිපත් වෙලත් තියෙනවා. ඒ පිළිබඳව දැන්ම මුකුත් කියන්න බැහැ. පුහුණුවීම් ගැන කියනවා නම් අපිට ලබන ජුනි පළමුවැනිදා ඉඳලා පුහුණුවීම් ආරම්භ කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දීලා තියෙනවා. ඔවුන් කියන විදියටම අපි ඒ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා” යි සඳහන් කර සිටියේය.

( මුලාශ්‍ර cricket.lk)