කොරෝනා වෛරසයට එරෙහි සටනට Raincoවෙතින් රුපියල් මිලියන 2. 4 ක වටිනාකමකින් යුතු පෞද්ගලික ආරක්ෂක උපාංග කට්ටල පරිත්‍යාගයක්

May 10, 2020 at 1:13 PM

ජනතා ආදර ගෞරවයට පාත්‍ර වූ කීර්තිමත් ශ්‍රී ලාංකීය සමාගමක් වන Raincoපුද්ගලික සමාගම විසින් කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු පවත්වාගෙන යාම උදෙසා රුපියල් මිලියන 2. 4 ක වටිනාකමකින් යුක්ත පෞද්ගලික ආරක්ෂක උපාංග කට්ටල (PPE) තොගයක් පරිත්‍යාගකොට තිබේ. Rainco පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අහමඞ් අරූස්, කළමනාකාර අධ්‍යක්ෂ ෆසාල් ෆවුස් සහ Rainco සමූහයේ ටෙන්ඩර් හා නියාමන සබඳතා අංශයේ සමූහ ප්‍රධානී ප්‍රසන්න චන්ද්‍රසිරි යන මහත්වරුන් විසින් යුධහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත මෙම පෞද්ගලික ආරක්ෂක උපාංග කට්ටල තොගය භාර දී ඇත.


Rainco පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අහමඞ් අරූස් මහතා මෙම පරිත්‍යාගය පිළිබඳ අදහස් දක්වමින් “40 වසරකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසනීය සමාගමක් බවට පත්වෙමින් අපගේ ව්‍යාපාරික මෙහෙවර තුළ මිලියන ගණනාවක් ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව හා රැකවරණය සලසා දී තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් කිනම් හෝ මොහොතක කිනම් හෝ අසීරුතාවකට මුහුණ පෑ විගස අප ශ්‍රී ලාංකික සමාගමක් ලෙස අපේම මිනිසුන්ගේ රැකවරණය උදෙසා ඉදිරිපත් වුණා. මුළු ලොවම ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවක අපේ රටේ මිනිසුන් රැකගන්නට දිවා රෑ නොබලා වෙහෙසෙන සෞඛ්‍ය සේවා හා ආරක්ෂක සේවා වෘත්තිකයන්ගේ පෞද්ගලික ආරක්ෂාව තහවුරු කරන්නට මෙවැනි පරිත්‍යාගයකින් දායකවන්නට ලැබීම ගැන අපට දැනෙන්නේ ව්‍යාපාරික වගකීමක් ඉටුකිරීමටත් වඩා සාමාජීය යුතුකමක් ඉටු කළා යන තෘප්තිමත් හැඟීමයි.” යැයි පැවසීය.



Rainco පුද්ගලික සමාගමේ ව්‍යාපාරික මෙහෙවර තුළ සාමාජීය යහපැවැත්ම උදෙසා තිරසර නිෂ්පාදන සංස්කෘතියක් පවත්වාගැනීම කෙරෙහි මුල්තැනක් ලබාදෙන්නේ ව්‍යාපාරික සාමාජීය වගකිම් නිසිලෙස ඉටුකෙරෙන පසුබිමක් සකසමිනි. ව්‍යාපාරයේ හිමිකාරීත්වය, කළමනාකාරීත්වය, සේවක සබඳතා සහ ව්‍යාපාරික සබඳතා යන සියල්ල ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ යහපැවැත්ම තහවුරු කරන්නට ඇපකැපවූවෝ වෙති.